ඉදිරි මැතිවරණයයි පොහොට්ටුවේ සුදානමයි. අශ්ගේ දේශපාලන කොලම

Sunday, 23 June 2019

පවතින දේශපාලන වාතාවරණය අනුව මේ වසර තුළ කුමක් හෝ ජාතික මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. ව්‍යවස්ථානුකූලව දෙසැම්බර් 08 වැනි දා ට පෙරාතුරව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර මහ මැතිවරණයක් සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

මේ මැතිවරණ උණුසුමත් සමඟ එන ඕනෑම මැතිවරණයකින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහ ප්‍රසන්න මේ දිනවල සැලසුම් සකසමින් සිටියි. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් සහිත ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබන ජයග්‍රහණය ඕනෑම මැතිවරණයක දී තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය මැතිවරණවල ජයග්‍රහණ ප්‍රතිශත සසඳමින්, ගණන් හදමින් ප්‍රසන්න පසුගිය කාලය පුරා වෙහෙසුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කරලීම සඳහාය. වාහනයේ යන එන අතරතුර මෙන්ම නිවසේ නිවාඩු පාඩුව සිටින අවස්ථාවලදී ද ප්‍රසන්නගේ වැ‍ඩේ ගණන් හදන එකය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ. ඉන් සියයට 80ක් ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කළහොත් වැටෙන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 14ක් පමණ වේ. ප්‍රසන්නගේ අරමුණ එසේ වැටෙන ඡන්දවලින් සියයට 51ක් ලබාගැනීමය.

සියයට 51ක ප්‍රතිශතයක් සඳහා ළඟා වීමට ඡන්ද ලක්ෂ 7ක් පමණ ගත යුතුය. සියයට 55ක් වීමට නම් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යෘව 758,000කි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණට ගම්පහින් වැටුණු ඡන්ද සංඛ්‍යාව 650,000කි. මෙවර ප්‍රසන්නගේ අරමුණට යාම සඳහා තවත් ලබාගත යුතුව ඇත්තේ වැඩිපුර ඡන්ද ලක්ෂයක පමණ ප්‍රමාණයකි.

එම ප්‍රමාණය ලබාගැනීම සඳහා ප්‍රසන්න මේ වන විට සැලසුම් සකසා අවසන්ය. ප්‍රසන්නගේ සැලසුම වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල කොට්ඨාස භාර පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කර සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන්ට නිශ්චිත ඉලක්ක ලබාදීමය. එම කටයුත්ත පසුගිය සෙනසුරාදා ආරම්භ කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයක්ම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් තනි තනිව දැනුවත් කිරීමට ප්‍රසන්න අදහස් කර ඇත. ඒ අනුව පසුගිය සෙනසුරාදා ගම්පහ ආසනයේ සියලුම පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමට ප්‍රසන්න කටයුතු කළේය. එසේම ඔවුන්ට තමන්ගේ කොට්ඨාසයෙන් ලබාගත යුතු ඡන්ද ප්‍රමාණය ද දැනුම් දෙන ලදී.

“ඉදිරියේ දී එන ඕනෑම ජාතික මැතිවරණයකට අපි ලැහැස්ති වෙලා ඉන්න ඕනේ. ගම්පහ තමයි තීරණාත්මකම දිස්ත්‍රික්කය. අපි මහින්ද මහත්තයා වෙනුවෙන් ගම්පහ උඩින් දිනවලා දෙන්න කැප වෙන්න ඕනේ. ඉස්සරහට ඡන්ද ඉල්ලන්න අය ඕනේ තරම් එයි. හැබැයි අපේ වගකීම තමයි පක්ෂයක් වශයෙන් ජයග්‍රහණය කිරීම.

අපිට පුද්ගල චරිතවලින් වැඩක් නැහැ. අපි පක්ෂය දිනවන්න ඕනේ. ඒක තමයි අංක එක. එතැනදී ගමේ බලය හිමි තමුන්නාන්සේලාට තමයි වැඩියෙන්ම වගකීමක් පැවරෙන්නේ. අපි මේ දෙන ටාගට් හරියට කවර් කරන්න. එතකොට අපිට මේ ජයග්‍රහණය ලබාගන්න අපහසු නැහැ” ප්‍රසන්න පැහැදිලි කළේය.

පළාත් පාලන නියෝජිතයන් තනි තනිව දැනුවත් කරන විට එක් නියෝජිතයකු ප්‍රසන්නට කීවේ ජනාධිපතිවරණයක දී අපේක්ෂකයා කවුද යන්න තීරණාත්මක බවය. එම නිසා අපේක්ෂකයා කවුද යන්න දැන ගත යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

“අපි ඒ ගැන කල්පනා කරන්න ඕනේ නැහැ. අපි පිට්ටනිය හදලා තියමු. එතකොට මහින්ද මහත්තයා නියමිත වේලාවට නම් කරන අපේ අපේක්ෂකයා ඇවිත් ඒ පිට්ටනියේ ලස්සනට සෙල්ලම් කරලා ජයග්‍රහණය කරයි. පිට්ටනිය හදන එක පැත්තක තියලා බැට් කරන කෙනා හොය හොය ඉන්න ගියොත් බෝට්ටුව ගිහින් තියෙයි” ප්‍රසන්න පැහැදිලි කළේය.

“ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන පිළිල කිහිපයක් තිබුණා. ඒ පිළිලත් 2015 මහින්ද මහත්තයාගේ ජයග්‍රහණයට තීරණාත්මක විදියට බලපෑවා. දැන් නම් ඒ අය හොයා ගන්නත් නැහැ. හැබැයි ඡන්දයක් ළංවෙන කොට ආයෙත් එයිද දන්නේ නැහැ. එහෙම වුණොත් අපිටත් මිනිස්සු ඉස්සරහට ගිහින් ඡන්දයක් ඉල්ලන්නත් ලැජ්ජයි” තවත් නියෝජිතයෙක් අදහසක් ඉදිරිපත් කළේය.

“බලය තියෙන වෙලාවට එන පිළිල ගැන මහින්ද මහත්තයා බලාගනී. එතුමා දැන් හොඳටම දන්නවා කවුද එතුමට ඇත්තටම ආදරේ, කවුද එතුමව රැකගත්තේ කියන කාරණය. අනෙක් එක ගමේ නියෝජිතයෝ විදියට තමුන්නාන්සේලාට බලයක් තියෙනවා පිළිලයක් හැදීගෙන එනවා නම් ඒක විනාශ කරලා දාන්න.

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන තැනට ගේනන ඉඩ තියන්න එපා. අපි මේ දිස්ත්‍රික්කය සැබෑ මහජන නියෝජිතයන්‍ගේ ආදර්ශමත් දිස්ත්‍රික්කයක් කරමු. එතකොට අනෙක් දිස්ත්‍රික්කවලත් තියෙන පිළිලත් නිට්ටාවටම සුවවෙයි” ප්‍රසන්න පැවසීය. ප්‍රසන්නගේ සැලසුම හැකි ඉක්මණින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසනවල මෙම සංවිධාන කටයුත්ත හැකි ඉක්මණින් අවසන් කිරීමය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේ දී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂයෙන් සැලකිල්ලට ලක්වුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

“ආණ්ඩුවට විරුද්ධව කවුරු මොනවා කළත් ඒකට සහයෝගය දෙන එක තමයි විපක්ෂය වශයෙන් ‍අපේ වගකීම. ඒ ගේන යෝජනාවල මොන සැඟවුණු අදහස් තිබුණත් අපට ඒවා වැඩක් නැහැ. ආණ්ඩුවට විරුද්ධ ඕනෑම සටනකට අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා අපි ඕනෑම වෙලාවක ආණ්ඩුවට එරෙහි මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන ගත යුතුයි.

“දැන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව අපි භාර දුන් විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවතට යනවා. අපට ආරංචි වුණා ඉල්ලා අස්වුණු ඇතැම් මුස්ලිම් ඇමැතිවරුන් ආයෙමත් ඇමැතිකම් භාර ගන්න යනවයි කියලා. සමහර විට රිෂාඩුත් ඇමැතිකම ගනියි. මම යෝජනා කරනවා එහෙම රිෂාඩ් ආයෙමත් ඇමැතිකමක් ගත්තොත් අපි නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕනේ කියලා” ෂෙහාන් කළ ඉල්ලීමට සියලුදෙනාගේ එකඟත්වය පළ කෙරිණි.

අනතුරුව අවධානය යොමු කෙරුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ දිනවල කරමින් සිටින කතා ගැනය. මීට පෙර ද දයාසිරිගේ කතා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. මෙවර කතාව ඇද ගත්තේ ප්‍රසන්නය. ප්‍රසන්නට ගැටලුව තිබුණේ දයාසිරි සහ දුමින්දගේ කතා ගැනය.

“දයාසිරි, දුමින්ද දිසානායක දෙන්නා තරගෙට ඒවා මේවා කියමින් යනවා. මෙහෙම ගියොත් නම් අපිටත් උත්තර දෙන්න වෙයි. හැබැයි අපේ උත්තර නම් ටිකක් බරපතළ වෙයි. දෙපාර්ශ්වය එකට සාකච්ඡා කරන ගමන් දයාසිරිට තියෙන අයිතිය මොකක්ද පුද්ගලික ප්‍රකාශ කරන්න. එක්කෝ වගකීමෙන් වැඩ කරන්න ඕනේ. නැත්නම් සාකච්ඡා නවත්තලා එයාලට එයා‍ලගේ ගමන යන්න කියන්න ඕනේ” ප්‍රසන්න දෙබරයට ගල් ගැසුවේය.

“ඒක ඇතත්. මම දැක්කා දයාසිරි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැනත් යම් යම් දේවල් කියනවා. අපි කතෝලික මන්ත්‍රීවරුන්. අපේ ජනතාවට තමයි මේ බෝම්බ ප්‍රහාරයෙන් හානි වුණේ. තේරීම් කාරක සභාව ක් අපි ඉල්ලුව බව ඇත්ත. හැබැයි අපි ඉල්ලුවේ මේ වගේ තේරීම් කාරක සභාවක් නෙමෙයි. අපිට කාවවත් බේරන්නවත් කාවවත් අමාරුවේ දාන්නවත් ඕනේ නැහැ. හැබැයි වැරැදිකාරයන්ට දඬුවම් ලැබිය යුතුයි. දයාසිරි හරියට කියන්නේ ජනාධිපතිවරයා වැරැද්දක් කළත් ‍ඒවා හෙළි කරන්න හොඳ නැහැ වගෙයිනේ” ලන්සා පැවසීය.

“දෙපාර්ශ්වයම කරන ප්‍රකාශ අපේ සමගියට බාධාවක්” අමරවීර පැවසීය.

. දැන් එයාලා අපිට කියනවා එක්සත් ජාතික පක්ෂය එක්ක අපි ඩීල් දානවා කියලා. හැබැයි අපේ මන්ත්‍රීවරුන්ගෙන් 50කට වඩා නඩු තියෙනවා. 90කට වඩා චෝදනා තියෙනවා. එතකොට අපි ඩීල් දාලා තියෙන්නේ නඩු දාගන්නද? අපි එක්සත් ජාතික පක්ෂය එක්ක හවුලේ දීග කාපු අය නෙමෙයි” සනත් කීවේය.

” අපිටත් පුළුවන් දයාසිරිලට උත්තර දෙනන. හැබැයි අපි උත්තර දුන්නොත් දයාසිරිලට දුවන්න ඉඩත් මදි වෙයි” ලන්සා කීවේය.

“අපි 2015 ඉඳලම එක්සත් ජාතික පක්ෂය එක්ක හවුල් වෙනවට විරුද්ධ වුණේ ඒකෙන් රටට හොඳක් වෙන්නේ නැති නිසයි. අපිට පක්ෂයත් නැති වුණා. රටත් නැති වුණා. හැබැයි අපි බින්දුවේ ඉඳලම පටන් අරගෙන ශක්තිමත් විපක්ෂයක් හැදුවා. අපි එහෙම නොකළා නම් අදටත් මේ රටේ විපක්ෂයක් නැහැ.  අද රටේ ප්‍රධානතම බලවේගය බවට අපි පත්වෙලා තියෙන්නේ එදා ලබපු පන්නරය නිසයි. අපේ ආණ්ඩුව කාලේ විපක්ෂය තිබුනෙ නමට විතරයි. එහෙත් අද නමට විතරක් තිබුණු විපක්ෂය ආණ්ඩුවටත් වඩා ශක්තිමත් විපක්ෂයක් බවට අපි පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ලබපු ශක්තිය ආණ්ඩු බලය ගැනීම සඳහා ගෙනියන වගකීමට අපිට සහයෝගය දෙනවා මිසක් කකුලෙන් අදින්න කාටවත් ඉඩ තියන්න බැහැ” ප්‍රසන්න පැවසීය.

“මම මුල ඉඳලම කියලා තියෙනවා කවුරු වුණත් කතා කරනකොට වගකීමක් ඇතිව කතා කරන්න ඕනේ කියලා. විශේෂයෙන් මොකක් හරි නිලයක් දරනකොට ඒ වගකීම දෙගුණ තෙගුණ වෙනවා. ආණ්ඩුවට වාසියක් ලැබෙන විදියට අපි වැඩ කරන්න හොඳ නැහැ. නැවත නැවතත් මේක මතක් කරන්න බැහැ” මහින්ද අවධාරණය කළේය.

විපක්ෂ නායක මහින්ද පසුගියදා බ්‍රහස්පතින්දා විශේෂ රැස්විමක් කැදවා තිබුණි. ඒ රැස්වීම කැදවා තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුවය. වර්තමාන දේශපාලන තත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරිම එහි අරමුණ වූයේය. රැස්වීම පැවත්වූයේ විජේරාමයේ පිහිටි මහින්දගේ නිල නිවසේය.

ජනාධිපතිවරණය ලගලගම එනවා. අපි ඒ සදහා සූදානම්. අපේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මන්ත්‍රීවරුන් දැනුවත් වීමේ අරමුණින් තමයි අපි මේ සාකච්චාව ඉල්ලුවේ. කංචන විජේසේකර මන්ත්‍රීවරයා මුලින්ම පැහැදිලි කළේය.

කංචනගේ ඉල්ලීමට අනුව මහින්ද පවතින දේශපාලන තත්වය හා ඉදිරි වැඩ පිළිවෙල පිළිබදව මන්ත්‍රීවරුන්ට දීර්ඝ ලෙස පැහැදිලි කළේය.” හුග දෙනෙක් දැන් අපිත් එක්ක එකතු වෙන්න අහනවා. නමුත් ඒ ගැන විවිධ ප්‍රශ්ණත් තියෙනවා. “මහින්ද සිය දීර්ඝ පැහැදිලි කිරීම අවසානයේ කීවේය”

රටේ ජන මතය ගොඩ නැගිලා තියෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව. මේ ආණ්ඩුවට සම්බන්ද කවුරුත් එනවට අපේ ගම්වල  තියෙන්නෙ දැඩි විරෝධයක්. එත් අපි දිනන්නනම් ඡන්ද වැඩිකරගන්නත් ඕනෑ. ප්‍රසන්න කීවේය..

“2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබතුමා වෙනුවෙන් මුල ඉදලම හිටපු අය ඉන්නවා. ඒ අය කලකිරවා ගෙන අලුත් අය අරන් වැඩක් නෑ… අපි  එන්න හදන අය සම්බන්ධකරගන්නවානම් අපිත් එක්ක මෙච්චර කල් දුක්විදපු අයට ප්‍රම්ඛතාවය හා නිසි ගෞරවය දෙමින් තමයි ඒ දේ කරන්න වෙන්නේ. ප්‍රසන්න වැඩි දුරටත් කීවේය.

ඒක ඇත්ත. මෙතන තියෙන්නේ ඡන්දය හා මනාප අතර වෙනසක්. අපේ මැතිවරණ වලදී අපි අපේ මනාප වැඩිකරගන්න ගම් මට්ටමින් විවිධ අයව එකතු කර ගන්නවා. ජනාධිපතිවරණයේදී අපිට අවශය ඡන්ද ඒ වෙනුවෙනුත් අපිට විවධ අය ගන්න වෙනවා. නායකයාට ඒ සදහා අවසර ය තියෙන්න ඕනේ… ලන්සා කීවේය.

අපේ ප්‍රතිපත්ති පිළි අරගෙන අපේ වැඩ පිළිවෙලත් එක්ක කටයුතු කරන්න පුළුවන්නම් තමයි ඒ අය ගැන සලකා බලන්න වෙන්නේ. කෙහෙලිය කීවේය.

2015 පරාජයෙන් පස්සේ අපේ අය හුගක් කැපකිරීම් කළා. ඒ වගේම ජනාධිපතිවරණය වගේ මැතිවරණයකදී අපිට හැම ඡන්දයක්ම වටිනවා. කණ්ඩායමක් හැටියට මේ ගැන තීන්දුවක් ගන්නවනම් අපිට ඒ ගැන කටයුතු කරන්න පුළුවං. බැසිල් කීවේය.

මේ කථාබහ අතර තුර මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම ඇසුවේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකරන්නේ මන්දැයි කියාය. ඒකට තව කල් තියෙනවා. ඒක හොදම වෙලාවට වෙයි. මහින්ද සිනාසෙමින් කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ඇතුළු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ බලය මහින්දට පැවරීමට මෙහිදි සියළු දෙනාම තීරණය කළහ.

අශ්ගේ දේශපාලන කොලම.