එංගලන්තයට විශිෂ්ට ජයක්

Wednesday, 19 June 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි විය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6 කට ලකුණු 397 ක් රැස් කළද නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථානයට කඩුළු 8 කට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 247 කි.

ඊයේ (18) තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නම ඉදිරියේ වාර්තා රැසක් සටහන් වුණා. ඔයින් මෝගන් හයේ පහර 17ක් එල්ල කරමින් එක්දින පිටියේ ඉණිමක රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කල අතර ඔයින් මෝගන් පන්දු 57ක දී වාර්තා කළ ශතකය ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ සිව්වන වේගවත්ම ශතකය වේ.

ඊයේ තරගයේ දී එංගලන්ත කණ්ඩායම එල්ල කළ සමස්ත හයේ පහර සංඛ්‍යාව 25ක්. එය සටහන් වූයේ එක්දින තරගයක දී එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසය.

එහිදී දඟ පන්දු යවන ක‍්‍රීඩක රෂීඞ් ඛාන්ට එරෙහිව හයේ පහර 11ක් එල්ල කළ අතර එක්දින තරගයක පන්දු යවන්නෙකුට එරෙහිව රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස එය සටහන් විය. රෂීඞ් ඛාන් යනු මේ වනවිට එක්දින පන්දු යවන්නන් අතර ලොව 03වන ස්ථානයේ පසුවන පන්දු යවන්නා ඔහුය.