තිබ්බා ගැහුවා තියරිය ගැන අපූරුවට ප්‍රවීණ අධ්‍යක්‍ෂක රංජන් ද සිල්වා කියන කතාව

Monday, 14 October 2019
90 දශකයේ රිදී සිනමාව සේම රිදී ටෙළි කරළියකුත් ස්වර්ණමය වේදිකාවකුත් අපිට තිබිණි. එවැනි සුන්දර ටෙළි මතකයකි “රතු රෝස”. නාට්‍ය මෙන්ම තේමා ගීතයේ සංගීතය අදටත් ගෙන දෙන්නේ සුමිහිරි බවකි. රතුරෝස චාපා හෙවත් සැබෑ නමින් චන්දනා ලියනාරච්චි වසර 26කට පසුව මේ වන විට ලංකාවට පැමිණ සිටී. ඇයගේ පළමු සහ අවසන් රංගනය බවට පත් වන්නේ ද “රතුරෝස” ය.

“1996 විවාහ වූණා. විවාහ වෙලා පිටරට පදිංචියට ගිහින් ලංකාවේ අවුරුදු 26කට පස්සේ. එදා මම වෙනුවෙන් මාධ්‍යට කතා කලේ මගේ නංගී. 96 දී මම කෙලින්ම මාධ්‍ය හරහා මගේ ආදරණිය රසිකයන්ට කියලායි රංගනයෙන් ඉවත් වුණේ. ඒ අතීතයට මම හරිම ආදරෙයි. එදා ලැබුණ ප්‍රතිචාර අදටත් එකලෙසින්ම ලැබෙනවා”. චාපා ඇයගේ අතීතය ගැන පවසන්නේ එවන් අදහසකි.

කොහොමවුණත් ඇය නැවත රංගනයට නොඑන බව පැවසේ. රතුරෝස අධ්‍යක්ෂනය සහ නිෂ්පාදනය ප්‍රවීණ සම්මානලාභී අධ්‍යක්‍ෂක රංජන් ද සිල්වා මහතා ගෙනි. සුදු පරවියෝ , උදාගිර, ඔහුගේන් බිහිවුණු බොහොමයක් නිර්මාණ අතර අමතක කල නොහැකි දැවැන්ත නාට්‍ය බවට පත් වෙයි. එමෙන්ම ඔහු ශේෂ්ත්‍රයට බිහි කලාකරුවන් බොහොමයකි.

එදා වගේ මතකේ රැදෙන නාට්‍ය අද බිහි නොවෙන්නේ මන්ද කියා අපි ඔහුගෙන් විමසීමු,

” අද කොහෙද නංගි ටෙළි නාට්‍ය තියෙන්නේ. අද ටෙළි කරන්නේ නැහැ ටෙළි ගහනවා. ඔහේ තිබ්බ ගැහුවා. අද ටීවී එක බලනවට වඩා ඔෆ් කරන් ඉන්න වෙලා. මොකද අද නාට්‍ය බැලුවම ජිවිත වල තියෙන ප්‍රශ්න තව වැඩි වෙනවා. සංස්කෘතිය වල් වැදිලා. මගේ සුදු පරවියෝ නාට්යේ පාසල් දර්ශනයක හමුවීමක් තිබිලා ඒක කපන්න කිවුවා රූපවාහිනියෙන්. එකෙන් පාසල් ළමුන්ට වැරදි පුර්වාදර්ශයක් සපයනවා කියලා. එදා නාට්‍යක් කරන්න කලින් පිටපත තේරීමේදී එතරම් සංස්කෘතියට බර ක්‍රියාපටිපාටියක් තිබ්බා. අද සියල්ල වල් වැදිලා. මම නම් මේවා කතා කරන්නත් කැමතිත් නැහැ ඒකයි මාධ්‍ය වලට එන්නෙත් නැත්තේ මොකද අපි මොනා හරි කිවුවම කියන්නේ ප්‍රවීණයෝ කුහකයි කියලා.මෙන්න මේ නිසයි අද නිර්මාණ රැදෙන්නේ නැහැ.සරලවම කිවුවොත් අද නාට්‍ය වල ඇඩ් යනවා නෙමෙයි. ඇඩ් මැද නාට්‍ය යනවා.

ඒකත් එකක්. අද ටී බෝයි සතියකින් ඩිරෙක්ටර් වෙනවා. ඒ වගේම අද නළුවයි ඩිරෙක්ටර් නිෂ්පාදක සේරම එක්කෙනා. ස්ක්‍රිප්ට් එකත් එයාගේ. ඒ වගේම සීන් එකක කොච්චර දේවල් තියෙනවද ? තේමා ගීතයක කොපමණ දේවල් තියෙනවා ද? අද කෝ මේ දේවල්. තිබ්බ ගැහුවා තියරි එකෙන් කලාව නැතිම කරලා දාලා. එදා නිර්මාණ වල කපටිකම් නැහැ . අපහාස මඩ ලිංගිකත්වයන් නැහැ.. අද හිට් වෙන්න කියලා කරන්නේ ඕවා . ඉතින් කොහෙද නිර්මාණ වල ගුණාත්මක බවක්.
කදුලක් ඉකි බින්දා මෙන්ම ඔහු සතුව අවසන් කල චිත්‍රපට මෙන්ම නාට්‍ය කිහිපයකි. එමෙන්ම මේ දින වල තවත් නිර්මාණ කිහිපයක් හරහා ඔහු බෙහෙවින්ම කාර්යබහුල සිටියි. මෙතෙක් එළියට නොආපු මෙම නිර්මාණ සුදුසු වෙලාව එළි දක්වන්න බව ඔහු පවසයි.
  • Ashanthi Warunasuriya