බුද්ධි අංශ කල් තියා අනතුරු අගවද්දී සිවිල් පසෙකලා ප්‍රභූන් රැකි ආණ්ඩුවක්

Monday, 22 April 2019

මෙරට ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ බරපතලම නැගෙන ප්‍රශ්ණය වන්නේ මෙය කලින් දන සිටියද යන්නය. එයට රාජ්‍ය විවිද පුරෝකථන පැවසුවත් මේ වන විට මෙරට රාජ්‍ය බුද්ධි අංශ විසින් අදාල නිලධාරීන් දැනුමත් කර ඇති බවට මේ වන විට හේතු ඇතිව ඔප්පු වෙමින් තිබේ. පොලිස්පතිට දැනුම් දුන් එකී තොරතුර ඔහු විසින් අදාල සතර දැනුමත් කලද යන්නද ගැටලුවකි. එසේ නැත්නම් සියල්ල දැන වෙනදේ බලා සිටින්නට සිතුවාද කියා අපිට සිතෙන තරමටම ආණ්ඩුව අකර්මණ්‍යය . සියල්ල අදාල සතර වල නොහැකියාවය. සියල්ලෙන් හෙළයන් ආපස්සට පල්ලම් බසින්නේය. දිනු දේශයේ සැබෑ නිදහස අද අහිමිය. නැවත රාත්‍රි 8 සිට ඇදිරිනීතිය බලපැවැත්වේ.

කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී  (21) සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා ලබා දුන් තොරතුරු වාර්තාවක් ගැන ජයාරූප කිහිපයක් ලැබී තිබෙන බවට වාර්තා වෙයි.

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවට වන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය විසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙන අතර එහිදී මෙම ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වන බවට සැකකරන පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකිරීමට සුදානම් ප්‍රහාරයන් ගැනද තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන බවත් සදහන් වෙයි.

එම බුද්ධි අංශ වාර්තාවන්ට අනුව සහාරන් හාෂිම්, ජාල් අල් කුයිතාල්, රිල්වන්, සජිඩ් මවුලවි, ශාහිඩ් සහ මිල්හාන් හා ඔහුගේ අනුගාමිකයින් පිරිසක් මෙම ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සුදානම්ව ඇති බවටයි එලෙස තොරතුරු හෙළිවී ඇත්තේ.

මෙම පිරිස විසින් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, ගිනි අවි යොදා ගනිමින්, තියුණු ආයුධ සහ වාහන යොදා ගනිමින් ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවද විදෙස් බුද්ධි අංශයක් විසින් දැනුම් දී ඇත.

මෙම දැනුම් දීමට අදාළව මෙරට බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර ඔහු විසින් ඉකුත් අප්‍රේල් මස 11 වෙනිදා අදාළ තොරතුරු සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව ද එම වාර්තාවන්ට අනුව කියවේ.

මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුකරන ලද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ මගින් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදී තිබෙන බව සඳහන් වේ.

තියතලාව කඩවත ආදී ප්‍රදේශ කිහිපයකම මේ වන විට පුපුරන ද්‍රව්‍ය මේ වන විට හමුවී ඇති බව පොලිසිය සදහන් කරයි. මෙය ලංකාවම පුරා සැලසුම් සහගතව සිදු කිරීමට සැලසුම් කර දෙයකි. නමුත් කෙසේ හෝ එය වියර්ත වී තිබේ.

එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය තුලදී සිදුවූ බෝම්බ පිපිරිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් එය සහාරන් හාෂිම් විසින් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය පවා කරුණු වාර්තා කළේය.

මේ අතර කොළඹ, මඩකලපුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් කල් තියා ලද බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමක් සිදු කළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරද්දී එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබුනද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවයි අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ජනාධිපති රටේ හිටියේ නැත. බලතලද කිසිවකුට පවරා තිබුණේ නැත. එමෙන්ම ඔහු මෙරටින් බැහැරව සිටියේ පුද්ගලික ගමනක් උදෙසාය.

මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් කොළඹදී දේශපාලඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් පවතින බව මිට සතියකට පෙර තම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හට ඔවුන්ගේ කොට්ඨාෂ ප්‍රධානින් විසින් දැනුම් දී තිබු බවට අමාත්‍ය මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ද කියා සිටියේය. ඔහු එසේ කියද්දී සති තුනක පමණ කාලයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිය පියා විසින් කොළඹ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින් අද දිනයේදී දේවස්ථානයට නොයන ලෙස  (20) වනදා දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. තමන්ට එම දුරකථන ඇමතුම ලැබෙන විට බදුල්ල ප්‍රදේශයේ සිටිය බවද පසුව අද දිනයේදී කොළඹට පැමිණ සිය පියා මුණගැසීමට රෝහලට ගිය අවස්ථාවේදී මේ ප්‍රහාර සම්බන්ධ තොරතුරු ලැබුනේ කෙසේද යන්න විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබදව බුද්ධි අංශ කල් තියා දැනුම් දී තිබු බවට තමන්ට තොරතුරු ලද බවයි.

මෙහිදී ප්‍රත්‍යක්ෂ වන දෙයක් ඇත. පොලිස්පති සිවිල් කෙසේ වෙතත් ප්‍රභූ ආරක්ෂාව ගැන සැලකිලිමත් වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර විසින් මිට දින 11කට පෙර රටේ ඉහළ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවට ප්‍රංශ පුවත් සේවය වාර්තා කර සිටිනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් රටේ ප්‍රසිද්ධ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු පදනම් කර ගෙනයි.

විදේශ බුද්ධි අංශයක් විසින් ජාතික තවුහිත් ජමාද් (National Thawheeth Jama’ath) නම් අන්තවාදී කණ්ඩායමක් විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට වන තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව සඳහන්. පසුගිය දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේදී බෞද්ධ ප්‍රතිමා කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පසුපසද සිටියේ මෙම තවුහිත් ජමාද් නම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම බවට තොරතුරු හෙළිවී තිබිණි.

ශ්‍රී ලංකාවේ ඔත්තු සේවා මෙන්ම බුද්ධි අංශ රෝ ඔත්තු සේවාවටද වඩා ශක්තිමත් බවත් ඇමරිකාව ඊශ්‍රායලයට වඩා ප්‍රබල බවට එම රටවල් ද පිළිගත් කාලයක් තිබේ. එය සැබෑවකි. එතරම් ශක්තිමත් බුද්ධි සේවාවක් හිමි අපේ රාජ්‍ය බුද්ධි අංශ වලට මෙය සොයා ගැනීමට නොහැකි වූවායයි සිතීම විහිලුවකි. නමුත් මෙය සිදුරු සෙවීමට කාලයක් නොවේ. බොහෝ ප්‍රදේශ වල තරුණයන් එළියට බැස්සත් ඒවා ගමේ පන්සල සහ පල්ලිය විසින් සමනයකට පත් කර තිබුණේ ජාති ආගම භේද ඇති නොවීම වලක්වා ගැනීමටය. කිව යුතු දෙයක් ඇත. වසර 1ඔ කට පසුව අපි නැවතත් භියක් දැනෙන කාලයක් උදා විය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන අපි දත්තේ එල්ටී ටී ය ත්‍රස්වාදය හමුවේ. නමුත් ඒ කාලයේදීවත් මෙලෙස එකවර සැලසුම් සහගතව සිදුවුයේ නැත. අන්තවාදීන් හමුවේ අපි ජාතියක් ලෙස අපේ වුන් සමග ගහමරා නොගෙන සැබෑ අන්තවාදීන් සොයා ගමු. ඊට හදවතට නොව බුද්ධියට සවන්දී කටයුතු කරමු.

අශන්ති වරුණසුරිය.