මුස්ලිම් අමාත්‍යවරුන් ඇවිල්ලා මොනාද මහින්ද එක්ක කතා කළේ. අශ්ගේ දේශපාලන කොළම

Saturday, 15 June 2019

ඇමැති තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස පසුගිය සෙනසුරාදා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී මහින්ද මුණගැසුණාහ. මුස්ලිම් නියෝජිත පිරිස තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මහින්දට කරුණු පැහැදිලි කළේ හකීම් විසිනි. පැහැදිලි කිරීම අසා සිටි මහින්ද කීවේ සියලුදෙනා එකවර ඉල්ලා අස්වීම නුසුදුසු කරුණක් බවය.

“ඔයාලා සේරම එක වතාවේ ඉල්ලා අස්වෙච්ච එක වැරැදියි. මිනිස්සු දැන් ඔයාලා සියලුදෙනාම දිහා බලන්නේ සැකෙන්. මම නම් හිතන්නේ ඉල්ලා අස්නොවී විසඳගන්න තිබුණා කියන එකයි” මහින්ද පැවසීය.

“රතන ස්වාමීන් වහන්සේගේ උපවාසය නිසා මේ ප්‍රශ්නය වෙනතකට හැරෙමින් තිබුණ නිසා අපි ඉල්ලා අස්වුණේ. අපිට හිතුණා මේක ගැටුමකට යයි කියලා. අපට වෙන කරන්න‍ දෙයක් තිබුණේ නැහැ” හකීම් කීවේය.

“මොනවා වුණත් තව ටිකක් කල්පනා කරලා තීන්දුව ගත්තා නම් හරි. මිනිස්සුන්ට ඔයාලා හැමෝ ගැනම වැරැදි අර්ථකතනයක් ගිහිල්ලයි තියෙන්නේ. ඔය වගේ දේවල් පස්සේ වැරැදි පූර්වාදර්ශ වෙන්න පුළුවන්” මහින්ද පැවසීය.

“සර් මම කිසිම අවස්ථාවක අන්තවාදීන් එක්ක සම්බන්ධයක් තියාගෙන නැහැ” රිෂාඩ් පැවසීය.

“එහෙම නම් ඔයාට කරන්න තිබුණේ පරීක්ෂණවලට සහය දෙන්නනේ. පරීක්ෂණවලට පෙනී ඉඳලා නිර්දෝෂී වෙලා ජනතාව ඉස්සරහට එන්න තිබුණා. පරීක්ෂණවලින් මඟ හරින කොට තමයි ජනතාව අතර සැක සංකා මතු වෙන්නේ” මහින්ද කීවේය.

“හැම මුස්ලිම් ජාතිකයෙක්ම අන්තවාදයට සම්බන්ධ නැහැ. ඒවට සම්බන්ධ වෙලා ඉන්නේ සීමිත පිරිසක් විතරයි” හකීම් පැහැදිලි කළේය.

“ඒක අපි දන්නවා. හැබැයි මේ කාරණා ඉතා සංවේදී කාරණා නිසා හදිසි වෙලා තීන්දු අරගෙන මේවා විසඳන්න බැහැ. බොහොම ප්‍රවේසමට තමයි මේවා කරන්න ඕනේ. බහුතර ජනතා මතය ගැන අවබෝධයෙන් කටයුතු කළොත් තමයි කාට කාටත් හොඳ” මහින්ද පැවසීය.

හකීම් ඇතුළු පිරිස දිගින් දිගටම තමන් ගත් තීන්දුව වෙනුවෙන් පෙනී සිටිමින් එහි නිර්දෝෂී බව පෙන්වා දීමට කරුණු දැක්වුවත් මහින්ද කීවේ එම තීන්දුව තවදුරටත් සිතා මතා ගත්තේ නම් හොඳ බවය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පසුගිය ඉරිදාය(09). මෝදිගේ සංචාරය පැය කිහිපයකට සීමා වී තිබුණි. පැය කිහිපයකට සීමා වී තිබුණද මෝදී මේ සංචාරය අතරතුරදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට වෙලාවක් වෙන්කර තිබුණි.

මහින්ද මෝදි හමුව සිදුවුනේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදීය. මහින්ද සමග දිනේෂ්, ජී.එල් සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද මේ හමුවට එක්ව සිටියහ.

ඉන්දීය අගමැතිවරයා මෙහිදී මහින්දව ඉතා උණුසුම් ලෙස පිලිගත්තේය. මෝදි ඉන්දියාවේ අග්‍රාමත්‍යවරයා ලෙස දෙවන වරටත් පත්වීම පිළිබදව මුලින්ම සුභ පැතූ මහින්ද සිය රජය කාලයේදී ඉන්දියාවෙන් ලැබුණු සහය සිහිපත් කිරීමටද අමතක කලේ නැත.

” අපේ රටට අර්බුධයක් ආපු හැම වෙලාවෙම ඉන්දියාව අපිත් එක්ක හිටියා. මම මේ වෙලාවෙ ඉල්ලනවා ඉදිරියටත් අපේ රටට සහාය දෙන්න කියලා. මම මේ ඉල්ලීම කරන්නේ විපක්ෂනායක වරයා ලෙසටත් වඩා මේ රටේ පුරවැසියෙක් විදියටයි.” මහින්ද කීවේය.

මහින්දගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෝදි කීවේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන සහාය කිසි සේත් වෙනස් නොවන බවය. රටේ පවතින තත්ත්වය පිළිබද මෝදි මෙහිදි විපක්ෂනායකවරයා සමග අදහස් හුවමාරු කරගත්තේය. සාකච්ඡාවෙන් අනතුරුව මෝදි මහින්දට සමු දුන්නේ “අපි නැවත ඉක්මනින් හමුවෙමු” .. යැයි කියමිනි.

දිනේෂ් එහිදී සිනාසෙමින් කීවේ ” මෙතුමා නැවත ඔබතුමා හමුවන්නේ විපක්ෂනායකවරයා ලෙස නෙමෙයි රටේ නායකයා විදියට” කියාය.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් පසුගිය සඳුදා මහින්ද මුණගැසීමට ආවෝය. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුර ඔවුන් පෙන්වා දුන්නේ රටට ශක්තිමත් නායකයකුගේ අවශ්‍යතාව තදින් දැනෙන බවය. එවැනි නායකයකුට රටේ හිඩැසක් ඇති බවත් පෙන්වා දුන්හ.

එසේම ඔවුන් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ ආණ්ඩු මාරු වන විට රාජ්‍ය ප්‍රතිපත්ති මාරු වීමේ වරදය. විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වැනි ප්‍රතිපත්ති ආණ්ඩු මාරුවීමේ දී වෙනස් වීම නිසා රටට මුහුණ පාන්නට සිදුව ඇති භයානක තත්ත්වය ඔවුහූ පෙන්වා දුන්හ. මොන ආණ්ඩුවක් ආවත් රටේ ප්‍රතිපත්ති එකක් විය යුතු බව ඔවුන්ගේ අදහස විය.

“මමත් පිළිගන්නවා ආණ්ඩු මාරු වෙන කොට ප්‍රතිපත්ති මාරු කරන්න ඕනේ නැහැ කියලා. අපි 2005 ඉඳලා අරගෙන ආපු ප්‍රතිපත්ති සියල්ලම මේ ආණ්ඩුව වෙනස් කළා. ඒක කළේ අපෙන් පළිගන්නයි. අපි කරපු හොඳ වැඩ ඉස්සරහට කරගෙන ගියොත් අපිට ලකුණු වැටෙයි කියලා ආණ්ඩුව බය වුණා. ඒ නිසයි ආණ්ඩුව ඒවා ‍විනාශ කරලා දැම්මේ.

බලන්න නෙළුම් කුළුණ, පෝට් සිටිය වගේ ව්‍යාපෘති නතර කරලා දැම්මා. අලුතෙන් කිසිම ව්‍යාපෘතියක් පටන් ගන්නෙත් නැහැ, අපි කරගෙන ආපුවා කරන්නෙත් නැහැ. ඕක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අපි වැඩ කළේ ලකුණු බලාගෙන නෙමෙයි. මේ රට් ජනතාව වෙනුවෙන් තමයි අපි මේ වැඩ කළේ. ඉස්සරහටත් අපි වැඩ කරන්නේ ‍ජනතාව වෙනුවෙන්.

කිසිම ආණ්ඩුවක් තමන් බලයට එන කොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය මුල්කරගෙන රට පාලනය කරන්නේ නැහැ. හැබැයි අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරලා ඒකට අනුව වැඩ කළා. දැන් ගම සමඟ පිළිසඳරක් කියලා පටන් අරගෙන තියෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් ඒ සඳහායි” මහින්ද පැහැදිලි කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න, පියල්, ලන්සා, සනත් ඇතුළු පිරිසක් පසුගිය බදාදා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී මහින්ද හමුවී දේශපාලන කතාබහක නියැලෙමින් සිටියහ. ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිවෙමින් තිබෙන අර්බුදය සම්බන්ධයෙනි.

“ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් මීටින් එක කැඳවලා නැහැ. දෙගොල්ලෝ අතර ගැටුම දැන් බරපතළ තැනකට ඇවිත් තියෙන්නේ” ප්‍රසන්න පැවසීය.

“තේරීම් කාරක සභාව නතර කරනකම් කැබිනට් එක තියන්නේ නැහැ කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. එහෙම වුණොත් රට අවුලෙන් අවුලට යනවා” ලන්සා කීවේය.

“දෙගොල‍්ලෝ දෙපැත්තට ඇද ඇද ඉන්නවා. ජනතාව තමයි මේකෙන් අමාරුවේ වැටෙන්නේ. මේක දැන් කප්පිත්තෙක් නැති නැවක් වගේ. පාලකයෙක් නැහැ, ආණ්ඩුවක් නැහැ” සනත් පැවසීය.

“මේ විදියට රටකට ඉස්සරහට යන්න බැහැ. හොඳම වැඩේ තමයි වහාම මැතිවරණයකට යන එක. එහෙම වුණොත් ජනතාවට පුළුවන් තමන් කැමැති ආණ්ඩුවක් ආයේ පත් කරගන්න” මහින්ද පෙන්වා දුන්නේය.

“අපි මුල ඉඳලම ඔය තේරීම් කාරක සභාවට විරුද්ධ වුණේ ඔය නිසයි. අපි එදා ඉල්ලපු දවසේ රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත්තා නම් ‍මේවා වෙන්නේ නැහැ. අන්තිමට බොරු තේරීම් කාරක සභාවක් දාලා රටම අවුල් කළා” ප්‍රසන්න පැවසීය.

“අගමැතිවරයා නම් කරපු අය වැඩ බලන ඇමැතිවරුන් විදියට පත් කළේ නැහැ කියලා කචල් එකකුත් යනවා. අගමැතිවරයා ජනාධිපතිවරයට දෙහි කපලා ලියුමක් යවලයි කියලත් ආරංචියි” ලන්සා පැවසීය.

“එක පැත්තකින් ජනාධිපතියි අගමැතියි රණ්ඩු වෙනවා. අනෙක් පැත්තෙන් ජනාධිපතියි කතානායකයි රණ්ඩු වෙනවා. පොඩි ළමයි වගේ. 2015දි කරට අතදාගෙන එක පතේ කාපු අය දැන් නයි මුගටි වගේ” පියල් කීවේය.

“2015 එකට හිටියේ මහින්ද මහත්තයා එළව ගන්නනේ. මහින්ද මහත්තයා බලයෙන් පහ කිරීම හැර වෙන කිසිම අරමුණක් ඔය යහපාලන නඩයට තිබුණේ නැහැ. රටක් ජාතියක් ගැන කිසිම කැක්කුමක් නැති පිරිසක් තමයි යහපාලනේට සෙට් වුණේ. දැන් හරියට ගලේ පහරපු බළල්ලු වගේ” ප්‍රසන්න පැවසීය.

“බලලෝභය නිසා රටම අවුල් කරපු මේ නඩය හරිනම් රටෙනුත් පන්නලා දාන්න ඕනේ. 2015 වෙනකොට හරි මාවතට වැටිලා තිබ්බ රට විනාශ කරලා දැම්ම සාපෙන් ගැලවෙන්න යහපාලන නඩේට පුළුවන්කමක් නැහැ” පියල් පැවසීය.

“මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ වගකීම පැවරිලා තියෙන්නේ අපටයි. මුළු රටම දන්නවා ආණ්ඩුවේ අයට රට ගොඩනැගීමේ හැකියාවක් නැති බව. ඒ නිසා ඊළඟ වතාවේ ඒ කාටවත් බලය ලැබෙන්නේ නැහැ. ජනතාව දැන් මැතිවරණයක් එනකම් බලන් ඉන්නේ. ඒ නිසා අපි ඒකට සූදානමින් ඉන්න ඕනේ” මහින්ද පැවසීය.

“ඒ කතාව හරි. මොකද මිනිස්සුන්ට අපිට බලය දෙන්න ඕනේ වුණාට මේ ආණ්ඩුව පෝෂණය කරන බටහිර ජාතීන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඒ නිසා මැතිවරණ ළංවෙද්දි නොයෙකුත් බලවේග, මඩ ප්‍රචාර යයි. අපි ඒවාට සූදානමින් ඉන්න ඕනේ” ප්‍රසන්න කීවේය.