රටපුරා බාල පෙට්‍රල් බෙදාහැර ඇති බවට වූ කතාව නියෝජ්‍ය ඇමතිනි අනෝමා ප්‍රතික්ෂේප කරයි

Monday, 8 July 2019

රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව සියයට සියයක් ප්‍රතික්ෂේප කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

දිවයින පුරා ඔක්ටේන් 92 නමින් බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය  අද (8) මේ බව  ප්‍රකාශ කළාය

පුද්ගලික ඉන්ධන අලෙවිසැල් දෙකකින් තුනකින් පමණක් මෙවැනි සිදුවීමක් සිදුවී ඇතිබවට ආරංචි වූ බවත් එම අලෙවිසැල් මොනවාද යන්න සොයාබලා වාර්තාවක්
ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව සියයට සියයක් ප්‍රතික්ෂේප කරන බවත් පවසා සිටියාය.

පුද්ගලික අලෙවිසැල් හිමිකරැවන් හට බවුසර්වලදී වුවද තෙල් කලවම් කළ හැකි බව පැවසූ  නියෝජ්‍ය අමාත්‍යවරිය,  සෑම දිස්ත්‍රික්කයකම ඉන්ධන පිරවුම්හල්වලින් 5%කින් නියැදි රසායනාගාර පරීක්ෂාවන්ට භාජනය කරන බවත්, කොළොන්නාව, සපුගස්කන්ද ආදී ඉන්ධන ගබඩාවන් වලද ඉන්ධන පරීක්ෂාවට යැවෙන බවත් මෙම ප්‍රශ්නයට තමා ගත් ක්‍රියාමාර්ගය ලෙස සඳහන් කර සිටියාය.

ඉන්ධන නැවෙන් ගොඩබාන අවස්ථාවේ ම පරීක්ෂාකර යවන බැවින් මෙවැනි විශාල දෝෂයක් සිදුවීමට ඉඩ නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය  පවසයි. කෙසේ වෙතත් වරදක් සිදුවී ඇත්නම් එම වරද සිදුවී ඇත්තේ කොතැනදැයි සොයා බලා ක්‍රියාකිරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.