රටේ තත්වය හොද නැහැ. විවිධාකාර ත්‍රස්තවාදයන් රට තුළට ඇවිත්… අශ්ගේ දේශපාලන කොලම

Saturday, 29 June 2019

මහින්ද පසුගිය සෙනසුරාදා කෑගල්ල බලා ගියේ ශ්‍රී ලංකා‍ පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සම්මේලනයට සහභාගී වීමටය. සමුළුව පැවැත්වෙන ස්ථානයට යාබද ස්ථානයේ සණස ව්‍යාපාරයේ නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වෙමින් තිබුණේ සණස ව්‍යාපාරයේ නිර්මාතෘ කිරිවන්දෙණියගේ නායකත්වයෙනි.

කාන්තා සමුළුව අවසානයේ දී කිරිවන්දෙණිය පැමිණ මහින්ද කැඳවාගෙන සණස නායකත්ව පුහුණු වැඩමුළුවට ගියේය. සණසේ ග්‍රාමීය නායකයන් සමඟ සුහද කතාබහකට එක් වූ මහින්ද එතැනින් ආහාර ද ගෙන එදින රාත්‍රිය ගත කිරීම සඳහා ලොහාන්ගේ නුවර නිවසට ගියේය. එදින සවස ලොහාන්ගේ උපන් දිනය ද සැමරිණි.

පසුදින උදෑසනම මහින්ද දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය. අනතුරුව මහින්ද මල්වතු විහාරය වෙත ගොස් නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. මහින්ද එදා උදෑසන ආහාර ගත්තේ මල්වතු විහාරයෙනි.උදෑසන ආහාරයෙන් පසු අස්ගිරි මහා විහාරය වෙත ගිය මහින්ද අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ද බැහැදුටුවේය.

එතැන දී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහින්ද කරුණු පැහැදිලි කළේය.

“දැන් බලන්න අපේ හාමුදුරුවනේ පාර්ලිමේන්තුවේ උපදේශකයෙක් ඉන්නවා ඇමෙරිකාවෙන් පඩි ගන්න. මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් දෙන්නත් ඇමෙරිකන් උපදේශකයෙක් ඉන්නවා. තව මොන මොන ආයතනවල මේ වගේ ඇමෙරිකන් උපදේශකයෝ ඉන්නවද අපි දන්නේ නැහැ”

“ඒක හරිම භයානක තත්ත්වයක්නේ” මහනායක හිමියෝ කීහ.

“ඒක තමයි අපි කියන්නේ. මුළු රටම අයාලේ යනවා. පිටරටවල උපදේශකයෝ තමන්ගේ න්‍යාය පත්‍ර ටික සම්පූර්ණ කරගන්නවා. ආණ්ඩුව සද්ද නැතුව ඉන්නවා. අපි ඉදිරියේ දී ඔබවහන්සේලා මේ කරුණු ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා” මහින්ද පැහැදිලි කළේය.

“ආණ්ඩුව ඉෂ්ඨ කරමින් යන්නේ විදේශ රටවල අවශ්‍යතාව බව පැහැදිලියි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන මොන පරීක්ෂණ කළත් ඒවා නීතිමය රාමුවක සිද්ධ වෙන බවක් පෙනෙන්නේ නැහැ. ජනාධිපතිවරයයි අගමැති ප්‍රමුඛ ආණ්ඩුවයි ගමන් කරන්නේ මාර්ග දෙකක. දිගින් දිගටම මෙහෙම ගියොත් රටට අත්වන්නේ බරපතළ විපතක්” සාකච්ඡාවට එක්ව සිටි අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්ම ධස්සි හිමියෝ කීහ.

එතැනින් පිටත්ව ගිය මහින්ද ගැටඹේ විහාරය ගොස් නායක හිමියන්ගෙන් ආශිර්වාද ලබාගත්තේය. මහින්ද එදා දිවා ආහාරය ගත්තේ මල්වතු විහාරයෙනි. මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමියෝ රට මුහුණ පා ඇති භයානක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

“වසර තිහක් තිස්සේ තිබ්බ යුද්ධය අවසන් කරලා රට, ජාතිය, ආගම ආරක්ෂා කළේ ඔබතුමායි. යුද්ධය අවසන් කළා වගේම රටම සංවර්ධනය කළා. රට පුරා විහාරස්ථානවලට උදව් උපකාර කළා. රටේ ජනතාවට තියෙන එකම විශ්වාසයත් ඔබතුමා විතරයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. ඔබතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත්.

වර්තමාන පාලකයෝ රට කෑලිවලට කඩලා එක එක රටවල්වලට විකුණමින් යනවා. එදා සිරිමාවෝ මැතිණිය රට ස්වයංපෝෂිත කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම් අපි අද දියුණු ජාතියක්. නැවතත් මේ රට ගොඩනගන්න වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ” උන්වහන්සේ කීහ.

“මම 2015 දී මේ අයට රට භාර දෙන කොට රටේ හාල් අතිරික්තයක් තිබුණා. මත්තල ගුවන්තොටුපොළේ පවා ගබඩා කරන්න තරම් වී තිබුණා. එහෙම තිබ්බ රටේ අද ළමයි හාමතේ මැරෙනවා. අපි කරපු දේවල් විනාශ ක‍රපු එකේ විපාකය විඳින්න වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවටයි” මහින්ද පැවසීය.

“රට ඉස්සරහා තියෙන්නේ හොඳ වාතාවරණයක් නෙමෙයි. විවිධාකාර ත්‍රස්තවාදයන් රට තුළට ඇවිත් තියෙනවා. මේ හැමදේකටම වගකියන්න ඕනේ ආණ්ඩුව. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. රටේ පක්ෂ සිය ගාණක් තියෙනවා. විදෙස් රටවල කුමන්ත්‍රණ තියෙනවා. කොහොම හරි මේ සේරටම මුහුණ දීලා රට ගොඩගන්න පුළුවන් කෙනෙක් ජනාධිපති ධුරයට පත් කර ගන්න ඕනේ” අනු නා හිමියෝ පැවසූහ.

“මීළඟ ජනාධිපතිවරණයේ දී රට ගොඩගන්න පුළුවන් කෙනෙක් ජයග්‍රහණය කරනවා. ඒ කෙනා ඉදිරිපත් වෙන්නේ අපේ පාර්ශ්වය නියෝජනය කරමින් කියන එක නම් මට කියන්න පුළුවන්” මහින්ද පැවසූහ.

නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් මහින්දට පැවසුවේ රටට මෙතරම් විපතක් වෙලා තියෙන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ ගැන කතා කරන බවක්වත් පෙනෙන්නට නැති බවය. රටේ ප්‍රශ්න ගැන හඬක් නගන්නේ විපක්ෂ නායකවරයා පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. රට වෙනුවෙන් මහින්දගේ කැපවීම උන්වහන්සේගේ ඇගයීමට ලක් විය.

“හිටපු විපක්ෂ නායකවරයා කතා කළේ එක ජාතියක් ගැන විතරයිනේ අපේ හාමුදුරුවනේ” මහින්දානන්ද පැවසීය.

“විපක්ෂ නායකකම අලුත් දෙ‍යක් නෙමෙයි. මට මේ පාර විපක්ෂ නායකකම ලැබුණේ දින 52 ආණ්ඩුව ආපු නිසයි. නැත්නම් විපක්ෂ නායකකම තියා විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ලැබෙන අයිතියක්වත් දෙන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ” මහින්ද පෙන්වා දුන්නේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් ද මහින්ද මෙහිදී අදහස් දැක්වීය. පවතින තත්ත්වය මත පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වෙතැයි විශ්වාස කළ නොහැකි බවත් ජනමත විචාරණයකට ගියත් මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති ඉඩකඩ අඩු බවත් මහින්ද පෙන්වා දුන්නේය.

එම නිසා මෙම ව‍සරේ පැවැත්වීමට වඩාත් ඉඩ ඇත්තේ ජනාධිපතිවරණය බවත් වසරාවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණ දීමට තම පාර්ශ්වය හොඳ සූදානමකින් සිටින බවත් මහින්ද මෙහිදී පැහැදිලි කළේය. මුස්ලිම් ඇමැතිවරුන් හදිසියේ ඉල්ලා අස්වීම සම්බන්ධවත් මෙහිදී කතාබහට ලක්විය.

හිටපු ඇමැතිවරයකු වන රිචඩ් පතිරණගේ බිරිය වන විජිතා පතිරණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද පසුගිය සඳුදා ගියේය. ‍ඒ වන විට මළ ගෙදරට පැමිණ සිටි ප්‍රසන්න, නාමල්, ඩී. වී, රංජිත් සොයිසා ඇතුළු පිරිසක් රමේෂ් පතිරණ සමඟ කතාබහ කරමින් සිටියහ. එහිදී මන්ත්‍රීවරුන්ගේ කතාබහ යොමුව තිබුණේ නාමල්ගේ විවාහය ගැනය.

නාමල් සැප්තැම්බරයේ යුගදිවියට පිවිසීමට සිටින බව ප්‍රථම වරට හෙළිකෙරුණේ ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේදීය. මන්ත්‍රීවරුන් විමසා සිටියේ ඒ බව මාධ්‍යයට හෙළි කෙරුණේ කෙසේද යන්න සම්බන්ධයෙනි.

“පහුගිය අවුරුද්දේ මම ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දියාවේ අගමැතිවරයා මගෙන් ඇහුවා කසාදයක් බදින්නේ නැද්ද, රාහුල් ගාන්ධි වගේ තනිකඩව ඉන්නද කල්පනාව කියලා. මම කිව්වා එහෙම නෑ ලබන අවුරුද්දේ බඳිනවා කියලා. ඒක තමයි මේ පාර ලංකාවට ආව වෙලාවේ හම්බ වුණාමත් ඇහුවේ. මම කිව්වා සැප්තැම්බර් 10 වෙඩින් එක කියලා. ඔන්න ඔය කතාව තමයි එළියට ගිහින් තියෙන්නේ” නාමල් පැහැදිලි කළේය.

රමේෂ්ගේ හිතවත්කමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මහජන නියෝජිතයන් විශාල පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද, හඳන්නෙත්ති සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන නලින් හේවගේ ද පැමිණ සිටියේය. නලින් සහ රමේෂ් දෙදෙනාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්තීහු වෙති.

“තාත්තා අධ්‍යාපන ඇමැති වෙලා හිටියත් රමේෂ් විශ්ව විද්‍යා‍ලේ ඉන්න කාලේ අපිත් එක්ක හොස්ටල් එකේ නැවතිලා කැන්ටිමෙන් බත් එක කාලයි ‍ඉගෙන ගත්තේ” නලින් සිහිපත් කළේය. නලින් කලා පීඨයේ සිටින විට රමේෂ් සිටියේ වෛද්‍ය පීඨයේය. අනතුරුව නලින් කීවේ අන්තරේ වැඩවලට රිචඩ් පතිරණ හමු වූ අවස්ථා ගැනය.

“අපි රිඩච් ඇමැතිතුමා මුණගැහෙන්න ගියාම එතුමා මුලින්ම අපෙන් අහන්නේ කාලද ඉන්නේ කියලා. කාලා නැත්තනම් කන්න දීලා තමයි ප්‍රශ්න ගැන කතා කරන්නේ” නලින් සිහිපත් කළේය.

මහින්ද ද එදින අවමංගල්‍ය කටයුතු නිමා වන තුරුම රැඳී සිටියේය. සාමාන්‍යයෙන් නොකරන පරිදි අමංගල්‍ය උත්සවයේ දී ගුණකතනයක් ද පැවැත්වුවේ රිචඩ් ගැනත් සිහිපත් කරමිනි.

බදාදා උදෑසන විජේරාම පෙදෙසේ නිල නිවසේ දී මහින්දගේ ප්‍රධානත්වයෙන් පුංචි උපන් දින සාදයක් පැවැත්විණි. උපන් දිනය සැමරුවේ විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටය. ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේදිත් මහින්ද අසළින් නොවෙනස්ව සිටින චරිතයක් සේ ප්‍රකට රොහාන්ට සුබපැතීම සඳහා මාධ්‍ය ආයතනවල හිටපු ප්‍රධානීහු කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.

උපන් දින කේක් ගෙඩිය කැපූ රොහාන් පළමු කැබල්ල මහින්දට පිරිනැමුව ද මහින්ද කීවේ “මට කවන්න පුලුවන් පස්සේ, නෝනට කවලා ඉන්න” කියලාය. ඒ අනුව රොහාන් ප්‍රථම කේක් කැබැල්ල බිරිඳට කැව්වේය. “මෙයා මට කේක් කැව්වේ අවුරුදු තිස් පහකට විතර පස්සේ” ඇය කී කතාවට මහින්දටත් සිනා ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සෙසු පක්ෂ අතර සාකච්ඡා වටයක් පසුගිය සතියේ පැවැත්විණි. නව සිහළ උරුමය, කොමියුනිස්ට් පක්ෂය, ඊ. පී. ඩී. පී ය ඇතුළු පක්ෂ ගණනාවක් සමඟ මෙම සාකච්ඡා පැවැත්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. ඉදිරි ජාතික මැතිවරණයක දී සහෝදර පක්ෂ සමඟ පොදුජන පෙරමුණේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ විය.

නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහින්ද පාර්ශ්වයට උදව් කරමින් සිටිය ද කලක් මෛත්‍රිට සහයෝගය දැක්වීය. සාකච්ඡාවට පැමිණි මනමේන්ද්‍ර බැසිල්ට කීවේ එක වතාවක් කළ වැරැදි නැවතත් නොකරන බවය. ආයෙත් ජීවිතේට යන්නේ නැහැ හෙතෙම සහතික විය.

මුස්ලිම් ජනතාව නියෝජනය කරන උලමාවරුන් පිරිසක් සමඟ බැසිල් කීවේ රටටම පිළිගත හැකි එකම නීතියක් යටතේ රට ගොඩනැගීමට පොදුජන පෙරමුණ නායකත්වය දෙන බවය. ඊ. පී. ඩී. පීයේ නියෝජිතයන් සමඟද බැසිල් කතා කළේය.

බැසිල් හමුවට ආ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර කීවේ පසුගිය කාලයේ එකඟ විය නොහැකි යම් ‍යම් දේ තිබුණු නිසා පැත්තකට වී බලා සිටිය බවය. මැතිවරණයකට පෙර මෙම සාකච්ඡා කැඳවූයේ එවැනි ගැටලු ඇත්නම් නිරාකරණය කර ගැනීමට බව පැවසූ බැසිල් සෑම පක්ෂයකම අදහස් හා යෝජනාවලට ගරු කරමින්, පිළිගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කරන බව දැනුම් දුන්නේය.

මුස්ලිම් ව්‍යාපාරිකයන් හට තහංචි පැනවීමට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් ද ප්‍රශ්න කෙරුණු අතර බැසිල් කීවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නියෝජිතයන් 5000ක පමණ පිරිසක් පොහොට්ටුවෙන් තේරී පත් වූ බව පැවසූ බැසිල් ඒ අතර විවිධාකාර චරිත ඇති අය සිටින්නට පුළුවන් බව සිහිපත් කළේය.

“දරුවෝ වැඩි වුණාම ප්‍රශ්න වැඩියි. ඉතින් අපි දරුවන්ට සමාව දෙනවද, දඬුවම් කරනවද කියන කාරණය වැරැද්දේ තරම අනුව තීරණය කරනවා” බැසිල් පැවසීය.

නිදහස් කලා සංධානයේ වාර්ෂික සංවත්සරය මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සවස පැවැත්වුණේ පානදුරේ වයිට් හෙවන් හෝටලයේදීය. මහින්ද සමඟ සුසිල්, විමල්, බන්දුල ඇතුළු මන්ත්‍රීවරුන් ද  කලා සංධානයේ සභාපති සුදත් රෝහණ, ගාමිණී ජයලත්, රෝහණ දේව ඇතුළු කලාකරුවෝ ද විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

සංවත්සරයට පැමිණ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් රැවුල කපා සිටින ආකාරය එතැන සිටි කලාකරුවෙක් මහින්දගේ අවධානයට යොමු කළේය.

“මේ මොකද ශ්‍රීයන්ත රැවල කපලා? ඔයාගේ තිබ්බ ප්‍රෞඩ පෙනුමත් දැන් නම් අඩු වෙලා වගේ? මහින්ද විහිලු කළේය.

“නෑ සර් මේ උදයකාන්තගේ ඊළඟ ෆිල්ම් එකටනේ. ඒකේ තියෙන්නේ විකට නලුවෙක් ජනාධිපති වෙන කතාවක්” ශ්‍රීයන්ත පැවසීය.

“ඔව් අර යුක්රේනයේත් එහෙම වුණාලුනේ. මෙහෙ නම් ඉතින් වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්තනේ” මහින්ද කීවේය.

උත්සවයේ මහින්දට පෙර කතාව තිබුණේ බන්දුලටය. බන්දුල එක පැත්තකින් කලාකරුවකුත් වන අතරම අනෙක් පැත්තෙන් මුදල් විෂය සම්බන්ධයෙන් දැනුමක් ඇත්‍තකු වන නිසා කතාව තරමක් බරසාර එකක් විය. කලාකරුවන්ට මුහුණ පාන්නට සිදුව ඇති ගැටලු මෙන්ම ඉදිරියේ දී පත්වන රජයකින් කලාකරුවන්ට ලැබෙන සහන සම්බන්ධයෙන් ද බන්දුල විග්‍රහයක් කළේය.

ඒ අසා සිටි එක් කලාකරුවෙක් කීවේ බන්දුල මන්ත්‍රීතුමාගේ කතාවට පස්සේ මහින්ද මහත්තයට කියන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ වගේ” කියාය. මහින්ද කතාව ආරම්භ කළේම “දීර්ඝ කතාවකට පස්සේ මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. තියෙන ප්‍රශ්න වගේම අපේ ආන්ඩුවෙන් කරන්න ඉන්න දේවලුත් සේරම දැන් කියවෙලා ඉවරයි” යනුවෙනි.

විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා උදෑසන රැස්විය. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරිණි. සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසන්න, සනත්, පියල්, සොයිසා, පවිත්‍රා, ලන්සා  ඇතුළු පිරිසක් මහින්ද සමඟ කතා කරමින් සිටියේ මෛත්‍රි 18 සහ 19 වැනි සංශෝධන සම්බන්ධයෙන් පළ කළ අදහස් ගැනය.

“ජනාධිපතිවරයා කියනවා 18 සහ 19 සංශෝධන දෙකටම එයා විරුද්ධයි කියලා. 18 වැනි සංශෝධනය ගේන වෙලාවේ මෛත්‍රි ඒකට අත ඉස්සුවා. 19 කියන්නේ යූ. ඇන්. පියේ වුවමනාව ගෙනාපු එකක් වුණාට ඒකට සහය දුන්නේ මෛත්‍රි. දැන් එයා හරියට කතා කරන්නේ අපි 19 ගෙනා‍වා වගෙයි” ප්‍රසන්න පැවසීය.

“එක්සත් ජාතික පක්ෂය හදපු 19ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අරගෙන දුන්නේ මෛත්‍රි. දැන් බොරුවට බැනලා වැඩක් නැහැ. 19 සම්මත කරගෙන මහ ලොකුවට පම්පෝරි ගැහුවේ මගේ බලතල මමම කපා ගත්තා කියලයි. එදා තේරුණේ නැද්ද මේකෙන් වෙන හානිය? සනත් ඇසුවේය.

“19 වැනි සංශෝධනය ගැන ජනාධිපතිවරයට පහුවෙලා ‍හරි තේරුම් ගිය එක හොඳයි. 18 සම්මත කරගන්න ජනාධිපතිවරයත් එදා ඡන්දය පාවිච්චි කළා. එදා නම් ඒකේ නරකක් කිව්වේ නැහැ. 19 නම් ගෙනාවේ ඒ අයම එකතු වෙලානේ. දැන් ඉතින් ඕවා වෙනස් කරන්න කාලයක් නැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ පුළුවන් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේන්න” මහින්ද පැවසීය.

“ජනාධිපතිවරයා කියලා තිබ්බා 19ට මහින්ද මහත්තයත් අත ඉස්සුවා කියලා. 19ට අත උස්සන්න මහින්ද මහත්තයා ඒ පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ. සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් 19ට අත ඉස්සුවේ මෛත්‍රිගේ බලකිරීම නිසයි. අනෙක් එක එතුමා කියලා තිබ්බා පාර්ලිමේන්තුවෙන් 225න් 215ක්ම මේකට ඡන්දය දුන්නා කියලා. ඒ පාර්ලිමේන්තුව නෙමෙයි දැන් තියෙන්නේ. සර් වගේ අපිත් ඕකට නම් සම්මාදම් වෙලා නැහැ” ප්‍රසන්න කීවේය.

“කවුරු ආණ්ඩුක්‍රම යෝජනාවක් හැදුවත් ජනාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕනේ ඒක තේරුම් ගන්න. තේරෙන්නේ නැත්නම් හැටහුටාමාරක් විතර ඉන්න උපදේශකයන්ගෙන්වත් අහන්න තිබුණා. එහෙම අහන්නේත් නැතුව 19 කරේ තියන් ගිහින් දිනවලා දැන් බැන බැන ගියාට වැඩක් නැහැ” ලන්සා කීවේය.

“ඒක හරි. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් රට ගොඩනගන්න අපි කැපවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විතරක් නෙමෙයි යහපාලනයෙන් රටට දායාද වෙච්ච ගොඩක් වැරැදි නිවරැදි කරන්න අපි කටයුතු කරනවා” ප්‍රසන්න පැවසීය.

ප්‍රසන්නගේ ඒ කථාවට මහින්ද ප්‍රතිචාර දැක්වූයේ මද සිනාවක් ඇතිව ප්‍රසන්නගේ පිටට තට්ටුවක් දමමිනි.