රන්ජන් රාමනායක නම් හිස් චරිතයේ ළාමක හැසිරීම පිලිබඳ කලාකරුවන් වශයෙන් අප ලජ්ජාවට පත්වනවා – සුදත් රෝහණ

Thursday, 18 July 2019

රන්ජන් රාමනායක නම් හිස් චරිතයේ ළාමක හැසිරීම පිලිබඳ කලාකරුවන් වශයෙන් අප ලජ්ජාවට පත්වන බවත්, ඔහු මෑතකදී මහා සංඝයා වෙත අපහාසාත්මකව ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියත් සමඟ මතුවන කරුණු කිහිපයක් කෙරෙහි සමාජ අවධානය යොමු කිරීම කාලෝචිතයැයි නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ මහතා ප‍්‍රකාශ කර සිටී. එම පුවත්පත් නිවේදනය පහතින් දැක්වේ..

රන්ජන් රාමනායක නම් හිස් චරිතයේ ළාමක හැසිරීම පිලිබඳ කලාකරුවන් වශයෙන් අප ලජ්ජාවට පත්වන අතර ඔහු මෑතකදී මහා සංඝයා වෙත අපහාසාත්මකව ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියත් සමඟ මතුවන කරුණු කිහිපයක් කෙරෙහි සමාජ අවධානය යොමු කිරීම සඳහා මෙම  නිවේදනය නිදහස් කලා සන්ධානය විසින් නිකුත්කර සිටී.

සංඝයා වහන්සේ ඉලක්ක කර එල්ල කළ මේ අපහාසය ජාතියට නායකත්වය දෙන ආගමික නායකයන් ට එල්ල කළ ප්‍රහාරකි.මහින්දාගමනයේ සිට වර්තමානය දක්වා මේ රට මුහුණදුන් අර්බුද වලදී ජනතාවට නායකත්වය දීමට පෙරට අවේ සංඝයා වහන්සේ බව නිදහස් සටන් ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි.වර්තමාන දුර්දාන්ත පාලනයට එරෙහි සටනට  ද සංඝයා වහන්සේ නායකත්වය දීම රන්ජන් රාමනායකලාගේ ආණ්ඩුවට දරාගත නොහැක.එනිසා මේ විජාතික ආණ්ඩුව විසින් දිගින් දිගටම බුදු දහමටත් , දුර දක්නා නුවණින් යුතුව ජනතාවට නායකත්වය දෙන ආගමික නායකයන්ටත් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.පාස්කු ප්‍රහාරයේදී ජනතාවාදී ලෙස නායකත්වය දුන් අති උතුම් කාදිනල්තුමන් වෙත මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රහාර එල්ලකිරීම ද මෙහි එක් අවස්ථාවකි.එනිසා රන්ජන් රාමනායක වැනි වත්මන් ආණ්ඩුවේ හවුල්කරුවන් ජාතියට මගකියන ආගමික නායකයන්ට එරෙහිව ගෙනයන මේ විනාශකාරී වැඩපිළිවෙල සමාජය විසින් නිවැරදිව හඳුනාගත යුතුව තිබේ.

එසේම හරවත් කතිකාවතකට වේදිකාවක් බවට පත්කරගත යුතු සමාජ මාධ්‍ය ජනසමාජය කැළඹීමට ලක් කිරීමට යොදා ගැනීම පිලිබඳ අපගේ බලවත් විරෝධය එල්ල වේ.සමාජයේ යහ පැවැත්ම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමට තරම් ස්වයං විනයක් වත්මන් තොරතුරු තාක්ෂණ සමාජයේ ජිවත්වන  දියුණු පුරවැසියාට තිබිය යුතුය. එහෙත් රන්ජන් රාමනායක දිගින් දිගටම සමාජ මාධ්‍ය භාවිත කළේ “චන්ද දායකයන් ගොනාට ඇන්දවීමට ” බව ඔහුගේ  සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.මෙම සිද්ධියේදී ඔහු බලාපොරොත්තු වන්නේ සමාජ මාධ්‍ය අවභාවිතය මගින් තමන් ප්‍රසිද්ධ වීමටය. රන්ජන් රාමනායක වැනි චරිත විසින් එසේ විනයකින් තොරව සමාජ මාධ්‍ය භාවිත කිරීම ගැන  ලජ්ජාවිය යුතුය.

අනෙක් වැදගත් කරුණ වන්නේ රන්ජන් රාමනායක වැනි ස්වයං විනයක් නොමැති ,වගකීමක් නොමැති චරිත පාර්ලිමේන්තුව ට තෝරා එවන්නට පෙර ජනතාව නැවත සිතා බැලිය යුතුවීමය.විපක්ෂයේ සිටිය දී මැදපෙරදිග ශ්‍රමිකයන් ගැන කිඹුල් කඳුළු හෙලු ඔහු ආණ්ඩු බලය ලැබුණු පසු ඒ ජනතාව වෙනුවෙන් ඉටු කළ දෙයක් නැත.වත්මන් ආණ්ඩුව කලාවට හානිකර  අනපනත් ගෙන එද්දී ඊට අත් ඔසවා කැමැත්ත දුන්නා හැර පසුගිය කාලයේ කලාව වෙනුවෙන් කළ කිසිවක් නැත.ජනතාව වෙනුවෙන් කළ කිසිවක් ද නැත.ජන මාධ්‍ය  ඔස්සේ වරින් වර වාචාල කතාවක් කියා හුදු චිත්‍රපට වීරයෙක් ලෙස පමණක් සමාජය ඉදිරියේ පෙනී සිටින රන්ජන් රාමනායක වැනි හිස් චරිත වෙනුවට , දේශපාලන පක්ෂය කුමක් වුවත් පුළුල් දැක්මක් ඇති වැදගත් නියෝජිතයන් පත්කර ගැනීමට ඉදිරි මහ මැතිවරණයෙදී ජනතාව කටයුතු කරනු ඇත.

සුදත් රෝහණ

සභාපති

නිදහස් කලා සංධානය