විවියන් රිචඩ්ස්ගෙ සුන්දර වරදකින් උපන් මසාබා

Monday, 17 October 2016

අ සූව දශකයේ අග සහ අනූව දශකයේ මුල් හරියේ දී බොලිවුඩ් සිනමාවේ නමක් දිනා සිටි සුරූපි නිලි නීනා ගුප්තා හිටි හැටියේම සිනමාවෙන් ඉවත් වූයේ සිය දියණියට ‘හොඳ අම්මා’ කෙනකු වීමට කාලය ඉතිරි කරගත යුතු බව කියමිනි. ඒ වන විට ඇගේ දියණිය ‘මසාබා’ සිවු හැවිරිදි වියෙහි පසුවූවාය. රැලි හිසකේ සහිත මේ හුරුබුහුටි දියණියගේ පියා කවුරුන්දැයි ඒ වෙද්දී බොහෝ අය දැන සිටියේ නැත. කවුරුත් සිතුවේ බොහෝ බොලිවුඩ් නිළියන් සේ ම නීනා ගුප්තා ද චිත්‍රපට නිෂ්පාදකයකු හෝ අධ්‍යක්ෂවරයකු සමග ඇති කරගත් ජංගම පෙම් පළහිලව්වක සාක්ෂියක් මෙසේ ඉතිරි කර ගන්නට ඇති බවය.

එහෙත් නීනාගෙත්, සිඟිති මසාබාගෙත් මුම්බායි නුවර පිහිටි පුංචි කැදැල්ලට ඊට සැතපුම් දහස් ගණනක් දුරක බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සිට ඉඳහිට ගොඩ වදින එවකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිහරඹයේ ආධිපත්‍ය පතුරුවලමින් සිටි විවියන් රිචඩ්ස් ගැන නම් බොහෝ අය සැක සිතුවේ නැත. සිය ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් ලොව පුරා සුරූපි තරුණියන් රැසක් වසඟයට ගෙන සිටි රිචඩ්ස්ට ඉන්දියාවේ සිනමා නිලියක සමග හාදකමක් ඇති කරගැනීමේ ඵලය කුමක්දැයි ඔවුන් සිතන්නට ඇත.

ඒ වෙද්දිත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල කළු ජාතික තරුණියක සමග විවාහ වී සිටි රිචඩ්ස් මෙසේ වරින් වර මුම්බායි නුවරට පැමිණියේ කුමක් අරභයා දැයි කිසිවකු නොදැන සිටියත් වැඩි කාලයක් යන්නට පෙර ඒ රහස හෙළිදරවු විය. බොලිවුඩ් නිළියන් ගැන නිතර නිතර ඕපාදූප කතා කරන එරට මාධ්‍ය අතර නීනා ගුප්තාගෙත්, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිචඩ්ස්ගෙත් ආදර අන්දරය ගැන වටින් ගොඩින් කරුණු අනාවරණය වෙද්දී පුංචි මසාබාගේ පියා කවුරුන්දැයි කවුරුත් දැන ගත්හ.

එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නිලියන් අතර ජංගම පෙම් සම්බන්ධතා ඇති වූ කාලවකවානුවක් ද විය. එය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් පමණක් නොව එවකට එතරම් සතුරුකමක් දක්නට නොලැබුණු පාකිස්තානයෙන් ද බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියාවේ නිලියන් සමඟ හාදකම් පවත්වමින් සිටි යුගයකි. රිචඩ්ස්ගෙත්, නීනාගෙත් ආදර අන්දරය දළුලා වැඩුණේ එවැනි පසුබිමකය.

රිච්ඩ්ස් ක්‍රිකට් පිටියෙන් සමුගත් පසුව ඉන්දියාවට පැමිණීමේ වාර ගණනත් ක්‍රමයෙන් වැඩි වන්නට විය. ඉන් පසුව ඔහු ප්‍රසිද්ධියේම නීනා සමග විවිධ ප්‍රිය සම්භාෂණවලට සහභාගි වූ අතර ඒ සෑම අවස්ථාවකදීම පුංචි මසාබා ද ඔහුගේ තුරුලට වී සිටියාය.

එවකට පුංචි දැරිය මසාබා දැන් අවුරුදු විසි ගණන්වල අග හරියේ සිටින පිරිපුන් තරුණියකි. එසේ වුවත් ඇය තවමත් සිය ආදරණීය පියාගේ උණුසුම විඳිමින් සිටින්නීය. කවුරුත් දන්නා රහසට දැන් දශක දෙකකට වැඩි කාලයක් ගත වී ඇති බැවින් තව දුරටත් මසාබාගේ පියා තමා බව වසන් කරන්නට 64 හැවිරිදි වියෙහි පසුවන රිචඩ්ස්ට උත්සාහ ගන්නේ නැත. පසුකලෙක ව්‍යාපාරිකයකු වන විවේක් මෙහ්රා සමග විවාහ දිවියට පිවිසි නීනා ගුප්තාට දැන් අවුරුදු 57කි. එහෙත් වෙනම කැදැල්ලක ජීවත්වූවත් නීනාට මෙන්ම රිචඩ්ස්ට ද තවමත් මසාබාට ඇති ආදරයේ අඩුවක් නම් නැත.

මුලින්ම අවුරුදු 8 දී පමණ ටෙනිස් ක්‍රීඩිකාවක වන්නට සිහින මැවූ මසාබා නව යොවුන් වියට පා තබද්දී නර්තනයටත්, සංගීතයටත් පෙම් බැන්ඳාය. ඒ අනුව ඇය සුප්‍රකට නර්තන ශිල්පී ෂයිමාක් දේවාර්ගෙන් නර්තනය හදාරා ඔහුගේ නර්තන කණ්ඩායමට එක්වූවාය. එහෙත් මවගේ විරෝධතාව නිසා ඉන් ඉවත්වීමට ඇයට සිදුවිය. එකළ කවුරුත් සිතුවේ ඇය මව මෙන්ම බොලිවුඩ් සිනමාවට පා තබනු ඇති බවය. එහෙත් ඇය තෝරා ගත්තේ ඊට වෙනස් විෂයකි. ඇය දැන් මුම්බායි නුවර නමගිය මොස්තර නිර්මාණ ශිල්පිනියකි.

දැන් අය බොලිවුඩ් සිනමා නිලියන්ගේ විශ්වාසය හා ආකර්ශනය දිනූ නොම්මර එකේ මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. මුම්බායි නුවර ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරමින් ඇය විසින් නිර්මාණය කරනු ලබන නවීන පන්නයේ මෝස්තර උණුකැවුම් මෙන් ජනප්‍රියත්වයට පත්වී තිබේ. ඇගේ ගනුදෙනුකාරියන් බොහෝමයක් බොලිවුඩ් සිනමා නිළියෝ වෙති. ඇතැමුන් ඇගේ මෝස්තර නිර්මාණවලට ආකර්ශනය වී සිටින්නේ ඒවා බොලිවුඩ් සිනමාවටම සරිලන අන්දමේ විලාසිතා වීම නිසාය.

ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිලියක වන කරීනා කපූර්ය. ඇය මසාබාගේ මෝස්තර නිර්මාණවලට වහ වැටී සිටින බව ඊයේ පෙරේදා කීවාය. එකළ විවියන් රිචඩ්ස්ගේ පිතිහරඹයට තදින්ම පෙම් කළ කරීනාගේ සිනමා නළු සැමියා සයිෆ් අලි ඛාන් සිය බිරිය සමග මසාබා හමුවීමට පැමිණෙන සෑම මොහොතකදීම මෙසේ කියයි.

‘මසාබාගේ කතා බහ, ඉරියව්…මට නිතරම සිහිපත් කරන්නේ මගේ ක්‍රිකට් වීරයා රිචඩ්ස්වයි. එයා තාත්තා වගේමයි.’

සිය ආදරණීය පියා ගැන මෙවැනි කතා ඇහෙද්දී මසාබාගේ මුහුණ ආදරය මුසු ගෞරවයකින් පිරී යයි. පසුගියදා ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පත සමග මෝස්තර නිර්මාණ ශිල්පය ගැන ඇය කළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩි පුර කතා බහ කළේ මව නීනා ගැනය. සිය සාර්ථකත්වයේ රහස මව බැව් ඇය පුන පුනා කියන්නීය.

‘ඇය හරි නිර්භීත කාන්තාවක්.’ මසාබා සිය මව ගැන කියන්නේ එසේය.

‘ඒත් මම ජීවිතය ගැන ගොඩක් දේවල් දැනගත්තේ තාත්තාගෙනුයි. හැමෝම කතාවෙන්නේ එයා ක්‍රිකට්වලට කොයිතරම් දෙයක් කළාද කියලයි. ක්‍රිකට් වෙනුවෙන් තාත්තා එයාගේ ජීවිතයම කැප කළා කියලයි මිනිස්සු කියන්නේ. එහෙම තියෙද්දිත් එයා මටයි මගේ අම්මටයි ආදරය කරන්නත් කාලය ඉතිරි කරගත්තා. මට වටින්නේ ඒ ආදරය විතරයි.’ මසබා ක්‍රිකට් පිටිය දිනූ රිචඩ්ස් තාත්තා ගැන එසේ කියන්නේ ඉමහත් භක්තියෙන් යුතුවයි.

http://www.dinamina.lk/?q=2016/10/17/23898