සැකකරුවන්ගෙන් තොරතුරු එළියට. රටේ ආරක්ෂාව නව මෙහෙයුම් රැසක්

Friday, 3 May 2019

පාස්කු ඉරිදා දිනයේ ප්‍රධාන ස්ථාන කිහිපයක බෝම්බ පිපිරූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මේ වන විට අපගේ ආරක්ෂක අංශ යටතේ අත්අඩංගුවේ සිටිති.

ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම් සිදු වන අතර ඒ අනුව ත්‍රස්තයින් මුලින්ම සැලසුම් කර ඇත්තේ පළාත් නමයේ කතෝලික දේවස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථාන නවයක බෝම්බ පිපිරවීමට බව රාජ්‍ය බුද්ධි සේවා විසින් තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බව වාර්තා වෙයි.

එසේ නමුත් එම මුල් සැලැස්ම වෙනයම් වෙනස් වී ඇත්තේ ත්‍රස්ත කණ්ඩායම කොටසක් ඊට විරුද්ධ වීමෙන් ඇති වූ මතභේදයක් නිසා බවද මේ වන විට අත්අඩංගුවේ පසුවන සැක කරුවන්ගෙන් හෙළි දරව් වී තිබේ.

කෙසේ වෙතත් විවිධ අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ විමර්ශන කටයුතු අඩපණ විය හැකි බව රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ බුද්ධි තොරතුරු විශ්ලේෂක ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා පවසා තිබිණි. ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදීන් විසින්ම අදාළ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරිනු ලබන බවයි. අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස ජනතාවගේ මනසේ තැන්පත් වන ලෙස කටයුතු කිරීම ත‍්‍රස්තවාදීන් යුද උපක‍්‍රමයක් ලෙස ද සිදු කරන බව ඔහු ප‍්‍රකාශ කරයි.

මේ වන විට අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් ගෙන්ද එක දිගටම අපරාද පරීක්‍ෂණ නිලධරීන් ප්‍රශ්න කරමින් සිටිති. එහිදී තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බවත් ඔහු පවසා ඇත.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අප කල විමසුමට පිළිතුරු දෙමින් පවසන්නේ ඔහු සතුව වරදක් ඇත්නම් එය විභාග කිරීමට පක්‍ෂයේ කිසිදු විරෝධතාවයක් නැති බවය.

කෙසේ වෙතත් මේ වන විට රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා බුද්ධි අංශ වහා ශක්තිමත් කළ යුතු බව හිටපු  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් විසින් සකස් කරනු ලැබ වාර්තාව ඊයේ විපක්‍ෂ නායකවරයාට භාර දෙමින් ඔවුන් සදහන් කර තිබිණි. එහිදී හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේ ඒ පිළිබද අදහස් දක්වමින් “අන්තවාදී රැඩිකල් අදහස්වල එළඹ සිටින ඉස්ලාම් භක්තිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එහි ඇතුළත් 3 වන නිර්දේශය වන්නේ ආගමික නම්වලින් පවත්වාගෙන යන පාසල් වෙනුවට පොදු පාසල් ආරම්භ කළ යුතු බවයි. සැමට එක් නීතියක් බලාත්මක කළයුතු බවද හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් විපක්ෂනායකවරයාට භාර දුන් මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා:. යනුවෙන් පැවසුවේය.

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලය සඳහා විපක්ෂ නායකවරයා ද සහභාගී කරවා ගතයුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ කාලීන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආරක්ෂක මණ්ඩලය ප‍්‍රතිසංවිධාන කළ යුතු බවය.

එසේ වෙද්දී අද දිනයේදී එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්ධය අවසන් කළ අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ නිලයට උසස් කිරීමට යෝජනා වී තිබේ. ඒ වනවිට සේවයේ යෙදී සිටි ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ නිලයට උසස් කිරීමට ද යෝජිත බවද පැවසේ. ඒ අනුව වාර්තා වන්නේ නාවික හමුදාවේ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ සහ ගුවන් හමුදාවේ ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන නිලයන් යුද හමුදාවේ ‘‘ෆීල්ඞ් මාර්ෂල්’’ යන නිලයට සමාන වන බවයි.

කෙසේ වෙතත් මේ වන විට රටේ සියලුම ආරක්ෂක අනාශ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙහෙයුම් දිගටම දියත් කරමින් සිටිති.

 

 

  • අශන්ති වරුණසුරිය