හැම තැනම කඩු අහුවෙන වෙලාවේ මහින්දගේ සගයෙක් ලගත් කඩු. අශ්ගේ දේශපාලන කොලම

Saturday, 4 May 2019

ඉරිදා සවස ගෝඨාභයගේ ප්‍රදානත්වයෙන් යුක්ත ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් පිරිසක් මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට ආවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. හිටපු යුද හමුදාපතිවරුන්, නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදාපතිවරුන් මෙන්ම ඒවායේ ඉහළ තානාන්තර දැරූ පිරිසක් මේ අතර වූහ.

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානින් මහින්දට පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දැක් වූ අඩු සැලකිල්ල මෙවන් විපතකට මඟ පෑදූ බවය. විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බුද්ධි අංශ රජය දැනුවත් කර තිබුණු නමුත් රජය එම අනතුරු ඇඟවීම් ගණන් නොගෙනීම නිසා මෙම ශෝකජනක සිදුවීමට මුහුණ පාන්නට සිදුවී ඇති බවයි.

පසුගිය වසර හතරක කාලය තුළ තමන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට නිරන්තරයෙන් සිහිකැඳවීම් කළ නමුත් විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම හැර අනෙක් කිසිවක් ආණ්ඩුවට වැදගත් නොවූ බව මහින්ද පෙන්වා දුන්නේය. අනතුරුව සාකච්ඡා කෙරුණේ මෙම තත්ත්වයෙන් ගැලවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනය.

සඳුදා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල, ප්‍රසන්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණේ රටේ මතුව අති තත්ත්වය සහ මැයි දින සැමරුම සම්බන්ධයෙනි. එහිදී තීන්දු කෙරුණේ මැයි දිනය වෙනුවෙන් සමරු උත්සවයක් පමණක් පැවැත්වීමටය.

“කවුරු කොහොම කිව්වත් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් මේ ම්ලේච්ඡ සිද්ධිය පිළිබඳ වගකීමෙන් පැනලා යන්න බැහැ. දැන් ආණ්ඩුව හරියට හැසිරෙන්නේ මේ සිද්ධියට විපක්ෂය වගකියන්න ඕනේ වගෙයි“ ප්‍රසන්න පැවසිය.

“මම මුලින්ම කිව්වේ ඒකයි. රටේ වෙච්ච හැම සිද්ධියකටම වගේ අන්තිමට මේකත් ඒකාබද්ධ විපක්ෂයේ කරපිටට වැටෙයි කියලා. වැඩ බැරි ආණ්ඩුව දැන් කල්පනා කරන්නේ ප්‍රශ්නය විසඳන හැටි නෙමෙයි මේක අපේ කරේ ගහන්නේ කොහොමද කියන එකයි“ මහින්ද පැවසීය.

“අගමැතිවරයා හදන්නේ මේක අවස්ථාවක් කරගෙන විදේශීය හමුදාවලට රටට ඇතුළු වෙන්න ඉඩ දෙන්නයි. පිරිබාහරන් ඇතුළු කොටි නඩය පරජය කරපු අපේ හමුදාවලට විදේශ හමුදාවල සහයක් අවශ්‍ය නැහැ“ විමල් පැවසීය.

“රනිල් හදන්නේ බොරදියේ මාළු බාන්න. එක පැත්තකින් විදෙස් බලවේගවලට දොර හරින ගමන් අනෙක් පැත්තෙන් විරුද්ධ පක්ෂය මර්දනය කරන්න උත්සහ කරනවා. පේනවානේ ප්‍රති ත්‍රස්ත පනත ගේන්න තියෙන වුවමනාව“ වාසු පැවසීය.

“රනිල්ගේ හැටි ඉතින් කවදත් ඔහොමනේ. මිනිහා බලන්නේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නයි. ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් විරුද්ධ පක්ෂය මර්දනය කරන්න ලැබෙනවා නම් බෝම්බ දාහක් පිපිරුණත් රනිල්ට ප්‍රශ්නයක් නැහැ“ මහින්ද පෙන්වා දුන්නේය.

“ජනාධිපතිගේ වැඩේ කමිටු පත් කරන එක.  අගමැතිවරයාගේ වැඩේ ජාත්‍යන්තරය ගැන කිය කිය නහයෙන් අඬන එක. රටකට මොකටද මේ  වගේ නායකයෝ? ප්‍රසන්න ප්‍රශ්න කළේය.

“ඒක නම් ඇත්ත තමයි. මේ වගේ අය පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන්“ උදය පැවසයී.

එදින ඉස්ලාම් විද්වතුන්ගේ සංගමයේ පිරිසක් මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට පැමිණිය. මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ රටේ උද්ගතව  ඇති තත්ත්වය සම්බන්ධයෙනි. මෙම පිරිස මහින්ද පෙන්වා දුන්නේ සියලු මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් නොවන බවය. තමන් අදහන ආගමට අනුව මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා අනුමත නොකෙරෙන බවත් ඔවුහූ පෙන්වා දුන්හ.

මහින්ද එම පිරිස සමඟ සාකච්ඡා කළේ එවැනි කරුණු ගැන පමණක් වුවත් පසුව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර හැර තිබුණේ බුර්කාව තහනම් කිරීමට මහින්ද විරෝධය පළ කර ඇති බවය. එහෙත් පසුව හෙළි වුණේ එය ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් නිර්මාණය කර ඇති පුවතක් බවය. අවසානයේ මහින්දගේ මාධ්‍ය ඒකකය එම පුවත ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් මැයි දින සැමරුම් උළෙලක් කෝට්ටේ නගර සභා ශ්‍රවණාගාරයේ දී 01 වැනි දා පැවැත්විණි. නිහඩ මැයි දින සැමරුමක් ලෙස නම් කර තිබුණු මෙම සැමරුමට මහින්ද සමඟ දිනේෂ්, වාසු, තිස්ස, විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් සහ සාමාජිකයන් පිරිසක් සසහභාගී වී සිටිහය.

“රාජිත කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා. මුලින් කිව්වා බොදුබල සංවිධානය හැදුවේ ගෝඨාභය කියලා. පස්සේ කිව්වා ආවා කල්ලිය හැදුවේ ගෝඨාභය කියලා. දැන් කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා. රටේ හැම දේකටම රාජිතලා ඇඟිල්ල දිගු කරන්නේ ගෝඨාභයට“ ප්‍රසන්න පැවසීය.

“බෝම්බ ටික පුපුරලා සතියක් විතර යනකම් රාජිතලා සෙට් එක හැංගිලා හිටියා මොකද වෙන්නේ බලාගෙන. දැන් මිනිස්සුන්ට දුක අමතක වීගෙන යනකොට එළියට ඇවිත් සිද්ධිය වෙන පැත්තකට හරවන්න හදනවා. මොනවා වුණත් දැන් රාජිතලා කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ“ උදය පැවසීය.

“රාජිත කියන්නේ කොහොමත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන මිනිහනේ. මිනිස්සු දන්නවා රාජිත කට ඇරියොත් කියන්නේ බොරු කියලා“ වාසු ප්‍රකාශ කළේය.

“මම මුල ඉඳලම කිව්වනේ ආණ්ඩුව කොහොම හරි මේ සිද්ධියත් ඒකාබද්ධ විපක්ෂයේ ඇඟේ ගහන්න හදයි කියලා. දැන් ඒක ඇත්ත වෙලා තියෙනවානේ. දැන් කරන්න ඕනේ මිනිස්සුන්ගේ තැලුණු හිත් සුවපත් කරන එක මිසක් මේ වගේ මාධ්‍ය සන්දර්ශන නෙමෙයි“ මහින්ද පෙන්වා දුන්නේය.

“රනිල්ලට කොහෙද මිනිස්සු ගැන ගාණක් තියෙන්නේ. මිනිහට මිනිස්සු මතක් වෙන්නේ ඡන්දයක් එන කොට විතරයි. අනෙක් වෙලාවට තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෙක්නේ රනිල් කියන්නේ“ ප්‍රසන්න කිවේය.

“රටෙත් ජාතියෙත් අවාසනාවට තමයි මේ වගේ කට්ටියකට ආණ්ඩු බලය ගියේ. මිනිස්සුන්ටත් දැන් තේරෙනවා ඇති කරගත්තු මෝඩකම“ එතැන සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් පැවසීය.

“අපිට දැන් ලැබිලා තියෙන ආරංචි හැටියට නම් මිනිස්සු ආණ්ඩුවත් එක්ක ඉන්නේ බොහොම කේන්තියෙන්. සමහරවිට ඇමැති සෙට් එකම වැඩිය එළියට බහින්නේ නැතුව ඇත්තේ ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා බුද්ධි අංශ වාර්තාවක්වත් ලැබිලා නිසාද දන්නේ නැහැ“ ප්‍රසන්න කීවේ සැවොම සිනහගස්සවමිනි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උඩුගම්පල නිවසට පසුගිය බ්‍රහස්පතින්දා (02) දිවුලපිය්‍ටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කැදවා තිබුනේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවකටය. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙම රැස්වීමට පැමිණි විට වෙනදා දක්නට නොලැබුණු දෙයක් ප්‍රසන්නගෙ නිවසේ සාලයේ තිබිනි. ඒ කඩුවකි.

“මගේ අම්මෝ සර්… මේ මොකද මේ.. හැම තැනම කඩු අහුවෙන වෙලාවේ මේ කඩු තියාගෙන ගෙදර ” ඉන්දික ප්‍රසන්නගෙන් ඇසුවේය.

“නැහැ බයවෙන්න එපා… මේක මේ පිත්තල කඩුවක්. මට තාත්තගෙන් හම්බුනේ.. පරම්පරාගත කඩුවක්… මේක මගේ කාමරේ තිබුනේ… පස්සේ මම ගෙනල්ලා මෙතනින් තිබ්බා. ප්‍රසන්න කීවේය.

” මේ කාලේ හැමතැනින්ම කඩු පිහි හම්බ වෙනවානෙ.. මේක දැක්කොත් සර්වත් අල්ලගනියි…” ඉන්දික කීවේය.

ඔව් ඔව්… ආණ්ඩුවට මේකත් ඇති තමයි….. ප්‍රසන්න කීවේය.