කුණුවී ඕජස් ගලන ටෙළියට උද්දාමයක්

Thursday, 13 February 2020

ජාතියට කුණු රසය ලබා දීමේ වරදින් ගැලවෙන්න කලාකරුවන්ට නම් හැකියාවක් නැත. භාෂාව, සාහිත්‍ය සහ ලේඛණ ටෙළිය සිනමානාත්මක හැකියාව නහුතෙට මෙකී නිර්මාණ කරුවන්ට තිබුණත් ඔවුන්ට සමාජයට ගැලපෙන ආකාරයට තමන්ගෙ නිර්මාණ බිහි කිරීමේ ස්ව හැකියාව ඇත්දැයි ප්‍රශ්ණයකි. එමගින් ඔවුන්ටවත් තේරුම් ගත නොහැකි අවර ගණයේ බාල නිර්මාණ බිහි වන්නේය.

සියල්ල හමුවේ රසිකයාට නැගෙන දෝෂාරෝපණයකි.

“තොපි ඉංදියාවේ නාට්‍ය හවස 7 ඉදලා රෑ 9 වෙනකල් එක දිගට බලනවා. උබලා පරගැතියන්ගේ හිවල් කමට ලොබ බදිනවා”.

ඔව්.. අහිංසක අපි ඉන්දියන් නාටක සහ දුප්පත් කෙටිකතා වගේම ඔවුන්ගේ සිල්ලර ගීත වෙතට යොමු වෙනවා තමයි. ඒ මහා නිර්මාණ කරුවන් යයි ප්‍රවීණ කුලේ ලේබල් වූවන් මිනිස් හදවත්හි රසිකත්වය අමතක ඇති නිසා.

සුළුතරයක් සතපා බහුතරයක් නිර්වින්දය කර ලබන ආතල් එක හරියට මෙලෝ මගුලක් නොතේරෙන ආඛ්‍යාන වලින් ලියපු පොත්ක් වගේ නොවන්නේද ? සත්‍ය වන්නේ නිර්මාණකරුවා ඔවුන්ගේ නොහැකියාව තේරුම් නොගැනීමය. ඇයි බැරි තමන්ගේ බුද්ධිය අත්දැකීම් සාක්‍ෂරතාවය යොදවා අපංභ්‍රංස ලිහිල් කිරීමට. බොහෝවුන් දන්නේ “කලාකරු” කියන ලේබලය අලවාගෙන ගැනීමට පමණි. මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට ප්‍රේක්ෂකයෝ පත්ව සිටීති.

මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් නිර්මාණකරුවන් ප්‍රමෝදයට පත්ව සිටිති. සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලම් බහුතර විනෝදයක් ලබා දෙද්දී, likes සහ views මිනුම් දණ්ඩ ලෙස ගත්විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇති වෙද්දී, හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් වෙද්දී, පහත් රුචිකත්වය ඕපපාතික වෙද්දී, නොසරුප් කථා සමාජයට මුදා හැරෙති. තව ටික දවසකින් සිදු වන්නේ වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට අපේ නිර්මාණ පත් වීමය.

වර්තමානයේ බලන්න ටෙළියක් නැත. ඔළුවේ ඇති ප්‍රශ්න ටික තවත් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් අද ඇති නාට්‍ය නැරඹුවාට කමක් නැත. මෙකී කුණු රසය සමාජගත වෙද්දී ඊට පටහැනිව නැගී සිටින නිර්මාණයක් දුටුවෙමි.

“සංසාරාරන්‍යය අසබඩ”
එක වක්‍යකින් කියනවා නම් “එය වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට යන නිර්මාණ අවකාශයට වෙනස් කෝණයක් ලබා දී තිබේ”.

අපේ සමාජය අනුගමනය කරණ පුරුෂාර්ථය ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත. කතා බහකදී දිනක් ප්‍රවීණ අධ්‍යක්‍ෂක රංජන් ද සිල්වා කියූ දෙයක් මෙසේ සටහන් කරන්නෙමු. “නංගි ඒ කාලේ ස්කුල් යුනිෆෝම් එකෙන් නිකං පාරේ කතා කරමින් යන පොඩි දර්ශණයක් තිබිලා මුළු නාට්‍යම රිජෙක්ට් වුණා”. කලාව සමඟ ලාංකේය සංස්කෘතිය සභ්‍යත්වය සියල්ල ආරක්ෂා කරන පුර්වාදර්ශයක් එදා රාජ්‍ය මාධ්‍ය තුල තිබිණි. නමුත් අද නාට්‍ය තේරීමේ කමිටු මුදලට වෙනස් වෙති. ආකෘති ආකර්ෂණයට මුල් තැන දෙති. එමෙන්ම තමන්ගේ එවුන් ගොඩ දැමීමේ කලාව ප්‍රගුණ කරති. එමගින් නිර්මාණ කුසලතා බල්ලට ගොසිනි.

මොනා වුණත් එන දේට මුහුණ දෙන ප්‍රවීණයන් අතර ශිවගුරුනාදන් කැපී පෙනේ. ” අශන්ති අපිට එන විදියට මුණ දෙන්න වෙනවා. මම එන දේ සතුටින් භාර ගන්නවා. ශිවා අයියා නිතරම පවසන දෙයකි. එයද එක්තරා ආකාරයකින් ආදර්ශයකි. එවැනිම අධ්‍යක්‍ෂක ප්‍රභාත් රෝෂණගේද එකී කලාවක් ඇත. නමුත් සමහරු නිහඬවී බලා සිටිති. කලා රසයට දියාරු වී ගිය ආදරය වෑහෙන්නට තිබීම අතවශ්‍යය වේ. නිර්මාණ පමණක් නොව තමන් කරන ඕනෑම දෙයකට අප පදනම් විරහිතව ආදරය කරනවා නම් මෙකී වටපිටාවේ ඇති දුගද සුගන්දවත් වනු ඇත.

මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට නිර්මාණාත්මක සමාජයක් සහ මාධ්‍යය ආරක්ෂණයක් ඇති කිරීම වැදගත්ය. එයට ලංසුවක් තබන්නට ITN දරන වෑයමකි. අවර ගණයේ නිර්මාණ පසෙකලා ප්‍රමිතියක් ඇති නිර්මාණ කිහිපයක්ම ඔවුන් එකතු කරමිනි සිටි. එකී අවකාශය කොන්දක් ඇති අධ්‍යකෂවරුන්ටත් කලාව එපාම වී ගිය නිර්මානකරුවන්ටත් උත්තේජනයකි. ප්‍රේක්ෂකයාට එපාම වී තිබූ ITNය දැන් ක්‍රෂ් එකක් වෙමින් පවතී. එය නිෂ්පාදකවරුන්ටද කික් එකකි.

කෙනෙක්ට අප ලියන දේ දේශපාලන කෝණයකින් විවේචනය කළ හැකිය. නමුත් මහාගත් කතු සයිමන් නවගත්තේගමට ශුරීන්ට දේශපාලනයක් නැත. මෙතන අප කුහක නොවී බැලිය යුත්තේ එකී කෘතියට අධ්‍යක්‍ෂවරයා ලබා දී ඇත්තේ කෙතරම් සාධාරණයක්ද යන්නය. එකී විනිශ්චයේ වගකීම ඔබට භාර දෙමු. එමෙන්ම ITN ගැන විනිශ්චය ද ඔබට භාර කරන්නෙමු.

ටෙළියේ වෙනස් කඩඉමක් සංජය නිර්මාල් සංසාරාරන්‍යය අසබඩින් සලකුණු කරද්දී කලාවට ස්වර්ණමය ඉඩක් ITN සකස් කරමින් සිටි.

මෙය කියවා මට වෛර නොකර යථාර්තය තේරුම් ගෙන නිවැරදි මාවතකට පෙළ ගැහෙමු.

  • අශන්ති වරුණසුරිය