CDB සමාගමේ 14 වැනි සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන තවත් දක්ෂතා සහිත සිසුන් 150 දෙනෙකුගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගන්වයි

මෙරට සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනික
අභිලාෂයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැප වී සිටින සිටිසන්ස්
ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව
වැඩසටහනේ‘14 වැනි අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා
සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි
අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150
දෙනෙකුට සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සදහා ශිෂ්‍යත්ව
ප්‍රදානය සිදු කෙරිණ.
පසුගියදා පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී, 2020 වසරේ පහ ශ්‍රේණිය
ශිෂ්‍යත්ව විභාගයේදී සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ
ප්‍රතිඵල ලබාගත් සිසුසිසුවියන් තම ශිෂ්‍යත්ව හිමි කරගත් අතර එහිදී,
ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.
මේ පිළිබද අදහස් දැක්වූ CDB හි විධායක අධ්‍යක්ෂ, කළමනාකරණ අධ්‍යක්ෂ
සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, “CDB
හි අපගේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් සෑම
කාලයකදීම සවිබල ගැන්වීමයි. වර්තමානයේ පවතින තත්ත්වයන් පිළිබඳ
සැලකිලිමත් වූ CDB අපි ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පසුගිය වසර
තුළදී ලබාදුන් ශිෂ්‍යත්ව ප්‍රමාණය 100 සිට 150 දක්වා වැඩි කළ අතරම එක්
දරුවෙක් වෙත පිරිනමන ශිෂ්‍යාධාර මුදලද ඉහල දැමුවා. එමගින් තවත්
දක්ෂතා සපිරි දරුවන් රැසකට උපකාර කිරීමට අපට හැකි වුණා.” යනුවෙනි.

ඒ අනුව, මේ වසරේ ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘හරහා පහ ශේණිය
ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් සියයකට රු. 12,500 බැගින්
වසර පහක් දක්වා ශිෂ්‍යාධාර ලබා දෙන අතර එහි මුළු වටිනාකම එක්
සිසුවෙකුට රු. 62,500 කි. මේ අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ
දක්ෂතා දැක්වූ සිසුන් 50 දෙනකුට රු. 17,500 බැගින් වසර දෙකක් දක්වා
ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වේ. එම ශිෂ්‍යාධාරයේ මුළු වටිනාකම එක්
සිසුවෙකුට රු. 35,000ක් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී
(අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ, ”සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන
CDB හි තිරසාර න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වන සමාජ අවබෝධය
(Socially Conscious) යටතේ ක්‍රියාත්මක වෙනවා.
එහිදී අප ගුණාත්මක අධ්‍යාපනය නංවාලීමේ උදෙසා වූ එක්සත් ජාතීන්ගේ
තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකුලව ක්‍රියා කරනවා. එමගින් අවසන්
ප්‍රතිඵලය ලෙස සමාජීය සහ ආර්ථිකමය බලපෑමක් ඇති කිරීම අපේක්ෂාව
කරනවා. CDB සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වූ 2008 වර්ෂයේ සිට
මෙම 14වන අදියර දක්වා දක්ෂ දරුවන් 850 කට වැඩි පිරිසකට ශිෂ්‍යත්ව ලබා
දී තිබෙන අතර ඉදිරියටත් අනාගත පරපුරේ සිසුදරුවන්ගේ අධ්‍යාපනික
අභිලාෂයන් බලගැන්වීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක
කිරීමට අපි බලාපොරොත්තු වනවා. එය සංවර්ධනය උදෙසා වූ ජාතික
අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු ඇති අපේක්ෂා
කරනවා,”යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *