සමථකරණ සංකල්පය සහ තරුණ ප්‍රජාව

මොකක්ද මේ සමථකරණය?

සමථකරණය යන වචනාර්ථය ගත් කල ‘සමථ‘ යනු එකඟතාවයකට පත් වීම
යන අදහසයි. ආරවුල් නිරාකරණය යන්න අතීතයේ පටන් සිදු වෙමින් පවතින
දෙයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි.සමථකරණයේ මුලික අරමුණ වන්නේ
කතා බහ කිරීමක් මගින් ඔබේ ගැටලුවට විසඳුම ඔබෙන්ම ලබා ගැනීමයි.
ගැටලුවත් විසඳුමත් තමන්ගේම වීම මගින්
පාර්ශවකරුවන්ගේ ආත්ම විශ්වාසයට ඉඩ සෑදීම සමථ මණ්ඩලය මගින් සිදු
කරයි.මෙහිදී සමථකරුවන් ඉතා අපක්ෂපාතී ලෙස ක්‍රියා කරන අතර ඔවුන් කිසිඳු
පාර්ශවයකට පක්ෂපාතී නොවී ක්‍රියා කරති.එසේම ඔවුන් කිසිඳු ආරවුලක්
පිළිබඳව පුර්ව නිශ්චිත නිගමන වලට එළඹෙන්නේ නැත.මක්නිසාද යත් එම
නිගමන සමාජය තුල ගැටලු ඇතිකරවන්නට ඇති ඉඩකඩ බහුල නිසා ය.අධිකාරී
බලයක් නොමැති මනුෂ්‍යත්වයේ බලය සමථමණ්ඩල නිලධාරීන් සතුය.

ගැටුමක මුල සහ තරුණයා අතර සම්බන්ධය

තරුණ ප්‍රජාව ‘ගැටුම‘ ගැන අවබෝධය ලබාගැනීම සමාජය තුල ජීවත් වීමට
බොහෝ සෙයින් බලපායි. බොහෝ විට ගැටුමක් යනුවෙන් සමාජය හඳුනාගන්නේ
දෙපාර්ශවයක් අතර සිදුවන බහින්බස් වීමක් දුරදිග යාමක් හැටියට ය.නමුත්
ගැටුම යන්නෙහි අදහස පුළුල් වපසරියක ව්‍යාප්ත වේ.තරුණ ප්‍රජාව විසින්
ගැටුමක ස්වභාවය වටහාගැනීමේ දී ‘වෙනස‘ යන සාධකය පිලිබඳව සලකා
බැලීම වටියි. ගැටුමක් යනු වෙනස පාදක කරගෙන ඇතිවන දෙයකි.අප ජීවත්
වන වටපිටාව තුල සිට මිනිසුන් සහ ඔවුන්ගේ සමාජ මට්ටම් එකිනෙකට වෙනස්
ය.එම වෙනස පුද්ගල ඒකීයභාවය නමින් හඳුන්වන අතර ජන්ම ස්වභාවය සහ
පරිසරය ද වෙනසට හේතු වේ. පැරණි සමාජයේ සිටම එන මිනිස් ජන්ම ගති
ලක්ෂණ දිගින් දිගටම ගලාගෙන ගිය ද පරිසරය යන සාධකය මත පුද්ගලයා
විවිධ වෙනස්වීම් වලට ලක් වේ.

පරිසරය යන සාධකය යටතේ අධ්‍යාපනය,අත්දැකීම්,ආගම සහ සංස්කෘතිය මත
පුද්ගලයා වෙනස් වේ
.

අධ්‍යාපනයේ මූලික කාර්යය සහ චිත්තවේග කළමනාකරණය
රැකියාවක් කිරීම, ජීවිතය පවත්වා ගැනීම යන අරමුණු මත පමණක් හඹා යන
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනයේ මුලික කර්තව්‍යය සිදු වන්නේ
අවම වශයෙනි.
එනම් චිත්තවේග කළමනාකරණයයි.අනාගතයේ ඉංජිනේරුවකු,වෛද්‍යවරයකු
,වෘත්තීයවේදියකු වීම වැනි අරමුණු පමණක් ඇති,එක් රාමුවක් තුළ සිරවුණු
අධ්‍යාපන වටපිටාව තුල සමාජයක ජීවත් වීමට අවශ්‍ය කරන දරුවාගේ සමාජ
පෞරුෂය මොට කරනු ලබයි.එසේම පාසලේදීම
දුක,වේදනාව,සතුට,සන්තාපය,තරහව වැනි ඕනෑම අවස්ථාවක් නිසි පරිදි
කළමනාකරණය කර ගැනීමට ඉගැන්වීම තුලින් විශ්වවිද්‍යාල මට්ටමේ සිට එතැන්
පටන් සමස්ත ජීවිකාව ගෙන යාමේදී ගැටුමක් මනාව කළමනාකරණය
කරගැනීමට එය මහත් රුකුලක් වේ.වර්තමානය දෙස බැලීමේදී විශ්වවිද්‍යාල
මට්ටමේ ගැටළුවක් කළමනාකරණය කරගැනීමේදී තරුණයින් හැසිරෙන ආකාරය
ඉතා කණගාටුදායකය.
තමන්ගේ ගැටලුව විසඳා ගැනීම වෙනුවට තව කෙනෙකුගේ උවමනා
අවශ්‍යතාවයන් සපුරාලමින් නිකරුනේ භාවිතා වන තරුණයන් ගේ චිත්තවේග
කළමනාකරණයේ පවතින දුබල බව ඉන් මොනවට පැහැදිලි වේ.

තරුණ ඔබට විවිධත්වය ඉවසන්න පුලුවන්ද?

විවිධත්වය පළමුව මුණගැසෙන ස්ථානය වශයෙන් පාසල හඳුන්වා දීමට
පුළුවන.පාසල තුළින් ලැබෙන විනය අනාගතයේ ඕනෑම පරිසරයක විවිධත්වය
ඉවසමින් ජීවත් වන්නට හැකි පුද්ගලයෙකු නිර්මාණය කරයි.
අනෙකාගේ දුක,වේදනාව,සතුට තමන්ගේ දුක,වේදනාව,සතුට සේ දැනෙන
‘සහානුභුතිය‘ සහිත පුද්ගලයකුට ගැටුම් අවම ව සමාජය තුල ජීවත් විය හැකිය.
බොහෝ විට ගැටුමක් දුර දිග ගොසින් අමනාපකමක් ඇතිව තිබෙන්නේ අනෙකා
පිළිබඳව වැරදි ආකල්ප,වැරදි තොරතුරු, සහ වැරදි මතවල සිටීම නිසාවෙනි.
සිද්ධියත් සමග නොව පුද්ගලයා සමග අමනාපකම් ගොඩනගා ගැනීම හේතුවෙන්
ගැටුමක් බරපතල තත්වයට පත් වේ.සමථ මණ්ඩල ඔබ වෙනුවෙන් පෙනී
සිටින්නේ සිද්ධිය සමග අමනාපව පුද්ගලයා සමග මෘදු වන්නටය.

තරුණ ඔබව සමථ කරන්නට ඔවුන් කෙතරම් සුදුසු ද?

දැනට ලංකාවේ සමථ මණ්ඩල 329 ක් ක්‍රියාත්මක වේ.සෑම ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයකම සමථ මණ්ඩල ස්ථාපිත කර ඇති අතර සමථ මූල මණ්ඩල වල
සිටිනා අවම සාමාජිකයන් සංඛ්‍යාව 12කි. සෑම සමථකරණ නිලධාරියෙකුම
සම්මුඛ පරීක්ෂණයකට ලක් කර තෝරාගනු ලබන අතර ඔවුන් සමථකරණය
සහ සන්නිවේදන ශිල්පීය උපක්‍රම පිළිබඳව පැය 40 ක පාඨමාලාවක් හදාරති.ඉන්
පසු පැයක විභාගයකින් ලබා ගන්නා ලකුණු අනුව සමථකරුවන් තෝරා ගනු
ලබයි.

සමථ මණ්ඩලයට සම්බන්ධ වීම සීමා සහිත වුවද තම ගැටලු නිරාකරණය කර
ගැනීම සඳහා ඕනෑම වයස් සීමාවන් වල සිටිනා තරුණයන්ට අවකාශය හිමි වේ.
ඕනෑම අයෙකුට තම ගැටළුව වෙනුවෙන් තමන්ටම පෙනී සිටීමට සමථ මණ්ඩලය
හොඳම ස්ථානයකි.

සමථකරණ සංකල්පය ගැන තරුණයින් දැන ගත යුත්තේ කුමක් ද?

සමථකරණයේදී ගැටලුවක් සම්බන්ධව එයට මුල් වූ අනෙක් පාර්ශවය සතුරෙක්
හැටියට නොසැලකීම සිදු කල යුතුය. සමථකරණ සංකල්පය තුළ තම ගැටලුව
නිරාකරණය කර ගැනීම සිටින හොඳම සමීපතමයා ඔබ සතුරා වශයෙන් සලකන
පුද්ගලාම බව සිතන්නට පුරුදු පුහුණු කරනු ලබයි. එමගින් සන්නිවේදන කාර්ය
තවදුරත් සාර්ථක වේ.
සමථකරණය පාසල තුල ස්ථාපිත කිරීම

සමථකරණ සංකල්පය පිළිබඳව පාසල් සහ විශ්ව විද්‍යාල මට්ටමෙන් දැනුවත්
කිරීම වර්තමානය වන විට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ. එම
අවශ්‍යතාවය මත සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය
විසින් සැලසුමක් සකස් කර 2004 වසරේ සිට බි්‍රතාන්‍ය කවුන්සලය සමග එක්ව
පාසල් තුළ සමථකරණ ඒකක ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන
ලදී. මෙහිදී මූලිකවම සිදුවන්නේ පාසල් සිසුන් අතර ඇතිවෙන ආරවුල් අතරින්
තෝරාගත් ආරවුල් පාසල තුළ පිහිටුවා ඇති ජේෂ්ඨ සිසුන් ගෙන් සමන්විත පාසල්
සමථ ඒකකය වෙත යොමු කිරීමයි. ඒ සඳහා සිසුන් 25 දෙනෙක් සහ ගුරුවරුන්
පස් දෙනෙක්ගෙන් සමන්විත සමථ ඒකකයක් පාසල තුළ ස්ථාපිත කරනු ලැබේ.
එහිදී ආරවුලක් විසඳීම සඳහා මැදිහත් වන්නේ එම සමථ ඒකකයේ කටයුතු
කරන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් ය.

වර්තමානයේ එය පාසලට පමණක් ප්‍රමාණවත් නොවන අතර විශ්වවිද්‍යාල
මට්ටමින් ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා පැන නැගී ඇත.

විශ්වවිද්‍යාල තුළ විෂය දැනුමට අමතරව සමාජ දැනුමින් ද පරිපූර්ණ පිරිසක් බිහි
කිරීම සමාජීය වගකීමක් වේ.පරිසරය ගැන අවබෝධයක් ඇති ලෝකයේ උසස්
සංගීත අසන,රසවින්දන ශක්තිය ඇති එසේම මනා සාහිත්‍යයමය දැනුමක් ඇති
පිරිසක් සමාජගත කිරීම සිදු කළ යුතුය.

තරුණ ඔබේ ගැටලුව සම්බන්ධ රහස්‍යභාවය හොඳින්ම ආරක්ෂා කරන
ආයතනයක්!

සමථමණ්ඩලය යනු ඔබ ඉදිරිපත් කරන ගැටලුවේ රහස්‍යභාවය ප්‍රථම රාජකාරිය
වශයෙන් සලකන ආයතනයකි.
ආදර සබඳතා සම්බන්ධ ගැටලුවක් හෝ මොනයම් ගැටලුවක් වුව වැඩිහිටියකු
සමග නිදහසේ සාකච්ඡා කරන්නට මෙහිදී ඉඩකඩ හිමි වේ.ඉන්පසු එම ආරවුල
නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වන නිවැරදි මගපෙන්වීම ඔවුන් විසින්
ලබා දේ.

තමන්ගේ ගැටළුව දෙස තමන්ට අවශ්‍ය පරිදි නිරීක්ෂණය කිරීමටත්,තමන්ට
අවැසි පරිදි ගලපා ගැනීමටත් සමථකරණය තුළ ඉඩකඩ හිමි වේ.

සාකච්ඡා මේසයක් තුල තම ගැටලුවට නිසි මගපෙන්වීම් ලැබෙන නූතන තරුණ
පරපුරට බිය සැක නොමැතිව තම ගැටලු රැගෙන යා හැකි හොඳම ස්ථානය
සමථමණ්ඩලයයි.රටේ අනාගතය වෙනුවෙන් තරුණ ඔබට සවන් දෙන්නට
සමථමණ්ඩලය නිරතුරුව බැඳී සිටින බව නොකිවමනාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *