ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමටත්, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වැඩි කිරීමටත් පියවර..

*

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත් ද්‍රව්‍ය කිලෝ ග්රූම් 3000 ක් දහනය කර විනාශ කිරීමට නව නීත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරනවා.

  • විදේශිය රටවල් වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට පියවර..
  • මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වැඩි කිරීම අරමුණු කර ගනිමින් පුනරුත්ථාපන කාර්යාංශ පනත සංශෝධනය කිරීමට කටයුතු කළා.  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉහත අදහස් පළ කළේ යුක්තිය පසිදලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විසින් ඉටු කර ඇති හා ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට අද පෙරවරුවේ (23) එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබාදීමේ වේගය මේ වන විට සීයයට සීයක් දක්වා වැඩි කර ඇති අතර, 2015 වසරින් පසුව ජාත්‍යන්තර ප්‍රමිතියේ යුත් අංග සම්පුර්ණ වාර්තා ලබා දෙන ආයතනයක් බවට එම ආයතනය පත් කිරීමට කොරියානු රජය විසින් ලබා දුන් නව පරීක්ෂණාගාර දෙක ස්ථාපිත කිරීමත් සමග හැකියාව ලැබී ඇති බවද අමාත්‍යතුමා පැවසීය.

මීට මාස දෙකකට පමණ පෙර විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කිරිමට පියවර ගත් බවත්, ඒ මගින් මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්ව සිර දඩුවම් ලබාදීම සදහා මත් ද්‍රව්‍ය ග්රූම් දෙකක්ව පැවති ප්‍රමාණය ග්රූම් 5 ක් දක්වා වැඩි කර ඇකි බවත්, ග්රූම් 5 ට වඩා අඩුවෙන් මත් ද්‍රව්‍ය ලග තබා ගැනීම සිදු කරනු ලබන්නේ ඒ සදහා ඇබ්බැහිවුවන් බැවින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, අත් අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ විශේෂ රෙගුලාසි ඇතුළත් නව විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකස් කරමින්  සිටින අතර එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව එම නව විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබදව සාකච්ඡා කරමින් ඇති අතර එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

ඒ අනුව මත් ද්‍රව්‍ය කිලෝ ග්රූම් 1000 ක් පමණ එක් වර දහනය කර විනාශ කිරීමේ හැකියාව පවතින යන්ත්‍රයක් සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, එසේ දහනය කිරීම සදහා අයිස් සහ හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය ක්ලෝ ග්රූම් 3000 ක් පමණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පවතින බව සදහන් කළ අධිකරණ අමාත්‍යතුමා විඩීයෝ ඡායාරූප ගැනීමෙන් පසුව අවශ්‍ය සාක්ෂි ලබා ගෙන දහනය කිරීමට පියවර ගන්නා බව ද සදහන් කළේය.

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් වැඩිවි ඇති අතර, ඔවුන් ඔවුන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීම කළ නොහැකි බවත්, දකුණු සහ උතුරු මුහුදු මාර්ගයෙන් විශේෂයෙන් ධීවර බෝට්ටු හරහා මත් ද්‍රව්‍ය මෙරටට ගෙන එන බවත්, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මත් ද්‍රව්‍ය ගෙන ඒම පාලනය කිරීමට කටයුතු කරන බවත්, මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන ජාත්‍යන්තරව ක්‍රියා කරනු ලබන ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කරන බවත්, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් නිවාස අඩස්සියේ සිට පුනරුත්ථාපනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන බවත්, අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක සමන්තා විමලසේන, සැක කටයුතු ලේඛණ පිළිබදව ආණ්ඩුවේ පරීක්ෂක ජේ.එම්.ආර්.ජයසුන්දර,  ආණ්ඩුවේ නියෝජ්‍ය රස පරීක්ෂක පී.ජී.මඩවල අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *