- නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ…
- සංචාරක, ධීවර, ආයෝජන හා කර්මාන්ත ක්ෂේත්‍ර සදහා වැඩි අවධානයක්….
- පුල්මුඩේ ඛනිජ කර්මාන්ත නගරයක් ලෙසත්, මුතූර් හරිත බලශක්ති නගරයක් ලෙසත් සංවර්ධනය කෙරේ…
නැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.
නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කළ යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා, එහි අවසන් සමාලෝචන කටයුතු ජුනි මාසයේදී අරඹන ලෙසද නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම පිළිබද නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව ඊයේ (29) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී එම අධිකාරියට උපදෙස් දී තිබුණේ නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාව පැවැත්විය.
නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත සිංගප්පූරු නගර නිර්මාණ ශිල්පි ආයතනයක් විසින් නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම සකස් කෙරේ. මේ වන විට එහි මූලික කටයුතු ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක 3 සදහා මෙම සැලැස්ම සකස් කෙරෙන අතර ඒ යටතේ මෙම දිස්ත්‍රික්ක ආර්ථික, වාණිජ, සංස්කෘතික, පාරිසරික වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇති.
මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බැවින් මෙම සංවර්ධන සැලැස්ම වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස් කළ යුතු බවයි. එහි සමාලෝචන කටයුතු අවසන් වු පසුව ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරෙන අතර පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලී හා නිලාවේලී ප්‍රදේශ සමුද්‍ර හා පරිසර සංචාරක කලාප ලෙසත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරුගල් සහ පාසිකුඩා ප්‍රදේශ ධීවර හා සංචාරක කලාප ලෙසත්, අම්පාර දිස්ත්‍රික්කයේ කොමාරි සිට පානම දක්වා ප්‍රදේශ වෙරළබඩ පරිසර සංචාරක කලාපයක් ලෙසත් සංවර්ධනය කෙරේ. එමෙන්ම කින්නියා නගරය ධීවර කර්මාන්ත නගරයක් ලෙසත්, පුල්මුඩේ නගරය ඛනිජ කර්මාන්ත නගරයක් ලෙසත්, මුතූර් නගරය හරිත බලශක්ති නගරයක් ලෙසත් සංවර්ධනය කෙරෙනු ඇති.
විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්. එම්. ආනන්ද, සහකාර ලේකම් (නාගරික සංවර්ධන) ඩබ්ලිව්. පී. යූ. කාවින්ද්‍යා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් කලාප 2) ලලිත් විජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.