බීජ වී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න ඉහළ නැංවීමට නම් ගුණාත්මක වශයෙන් ඉහළ අස්වැන්නක් ලබා දිය හැකි බීජ වී ගොවි ජනතාව විසින් භාවිතා කළ යුතුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

තවමත් බොහෝ ගොවීන් පුරුදුව සිටින්නේ තමන් එක් කන්නයක දී වගා කළ වී වලින් කොටසක් බීජ වී වශයෙන් යොදා ගැනීමටය. කන්න කිහිපයක් එකම වී වර්ගය වගා කිරීම නිසා ලැබෙන අස්වැන්න ක්‍රමාණුකූලව අඩු වන බව පෙනී යයි.

මේ නිසා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි උසස් බීජ වී ගොවි ජනතාවට ලබා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඔවුන් යටතේ ඇති ගොවිපොළවල බීජ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. දැනට සියයට 61ක් පමණ වන මූලික බිත්තර වී නිෂ්පාදනය ඉදිරි වසර අවසන්වීමට ප්‍රථම සියයට 91ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.

ජාතික වී නිෂ්පාදනය සඳහා වසරකට මහ කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 08ක්ද, යල කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 05ක් වශයෙන් හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කෙරේ. මේ සදහා අවශ්‍ය සහතික බීජ ප්‍රමාණය බුසල් ලක්ෂ 65කි. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන් නිපදවීමට නම් මූලික බීජ වී බුසල් 161,500ක අවශ්‍යතාවයක් පවතී.

මේ වනවිට රජයේ බීජ වී නිෂ්පාදන ගොවිපොළ 11ක් මුලික බීජ වී නිෂ්පාදන කටයුතුවල යෙදී සිටිති.

ඒ අනුව 2007- 2009 කාල සීමාව තුළ රජයේ මුලික බීජ නිෂ්පාදනය බුසල් ලක්ෂයක් පමණ මට්ටමක තිබු අතර එම මූලික බීජ ගුණනය කිරීමෙන් ලබා ගත හැකි වූ සහතික බීජ ප්‍රමාණය රටේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 61කි.

කඩිනම් ගොවිපොළ සංවර්ධන වැඩ සටහන් හා අනෙකුත් සංවර්ධන වැඩ සටහන් මගින් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතය මගින් 2019- 2021 කාල සීමාව වනවිට මූලික බීජ වී නිෂ්පාදනය බුසල් 150,000ක මට්ටමට ලඟා වීමට හැකි වී තිබේ. ඒ අනුව 2007- 2009 තෙවර්ෂයට සාපේක්ෂව 2019-2021 වනවිට මූලික බීජ වී නිෂ්පාදනය සියයට 50ක පමණ වර්ධනයක් ලබා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර 2019-2021 නිපදවන ලද මූලික බීජ වී ගුණනය කිරීම මගින් ලබා ගත් සහතික බීජ ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 91 සපුරාගැනීමට තරම් ප්‍රමාණවත් වේ. එමෙන්ම බීජ වී නිෂ්පාදන ගොවිපළවලට තවදුරටත් අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කර මූලික බීජ වී නිෂ්පාදන ඉළක්ක වන බුසල් 162,500ක ප්‍රමාණය 2022- 2024 කාලසීමාව වන විට ලඟා කර ගැනීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සහතික බීජ වී නිෂ්පාදනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙත නිපදවනු ලබන මූලික බීජ විදිමත්ව හා කාර්යක්ෂමව ලබා දීම තුළින් බීජ සහතික කිරීමේ ක්‍රමවේදය මගින් නිෂ්පාදනය කරනු ලබන ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15ක් වන ප්‍රතිශතය සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *