ණය ප්‍රශස්තකරණය අවසන් වූ පසු ආසියාන් වෙළෙඳ ගිවිසුම් ඇති කරගන්නවා

ඉන්දු පැසිෆික් කලාපය ගැන ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම පෙරට ගෙන යෑමට පූර්ණ සහාය 
ආසියාන් සංවිධානය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැදගත් කලාපීය හවුල්කරුවකු විදියටයි
– ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට සහ “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර, එම දැක්ම ඉදිරියට ගෙන යෑමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පසුගිය 08 වැනිදා පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදීය.

1967 අගෝස්තු 08 වැනි දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය රටවල විදේශ අමාත්‍යවරුන් පස්දෙනකුගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගනු ලැබිණි. අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕ‍සය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරන අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබේ.

ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වැනි දින ÒASEAN දිනයÓ සමරයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ආසියාන් (ASEAN) සංවිධානය සෙමින් නමුත් ක්‍රමික සහ පුළුල් අනාගතයක් සමඟ ලෝකයේ විශාලතම ආර්ථික හවුල්කාරිත්වවලින් එකක් ලෙස වර්ධනය වී ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ආසියාවේ ඔබේ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නොවූවත් ඔබේ සාර්ථකත්වයේ කතාව නම් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි.

මෙය සුබ පැතීමට මෙන්ම පසුතැවීමට ද අවස්ථාව බව මා කියන්න කැමැතියි. ආරම්භයේදීම ආසියාන් සංවිධානයට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කෙරුණා. අප එය පිළිගත්තේ නැහැ. එම සිදුවීම පිළිබඳ මා සාක්ෂිකරුවෙක් වෙනවා මෙන්ම මගේ පියා ඊට සම්බන්ධ වූ එක් අයෙක් බව කියන්න කැමැතියි.

1965 වසරේදී එජාපය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය විවෘත කළ යුතු බවට යෝජනාවක් වගේම ඉල්ලීමකුත් පැවතුණා. පළමුවෙන්ම එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් හරිත විප්ලවය නමින් ව්‍යාපාරයක් එළිදක්වනු ලැබුවා. එය සාර්ථක වුණා. එමඟින් එළිදැක්වුණු ෂෙනෝයි වාර්තාව, එවකට යුනිවර්සිටි කොලිජියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ මහාචාර්ය ෂෙනෝයි විසින් ශ්‍රී ලංකාවට පැමිණ සකස් කරන ලද වාර්තාවක්.

මගේ පියා යුනිවර්සිටි කොලිජියේ අධ්‍යාපනය ලබන අවධියේ දී මහාචාර්ය ෂෙනෝයි එහි ආචාර්යවරයකු ලෙස කටයුතු කර තිබෙනවා. එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව මහාචාර්ය ෂෙනෝයි ශ්‍රී ලංකාවට පැමිණියා. මහාචාර්ය ෂෙනෝයි ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණය සහ සමාජ සුබසාධනය පිළිබඳ රජයේ වගකීම සහතික කිරීමට හැකි වුණා.

දෙවනුව ශ්‍රී ලංකාවට ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනාව ලැබෙනවා. දෙවන ලෝක යුද සමයේදී අප සියලු දෙනා එක්ව අග්නිදිග ආසියානු සංවිධානය පිහිටුවා ගෙන තිබුණු නිසා එලෙස ආරාධනාවක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්.

ඒ වන විට අග්නිදිග ආසියාවක් සැබවින්ම පැවතුණේ නැහැ. කෙසේ නමුත්, මේ විවාදය ඉදිරියට ගියා. ඒ නිසා අපට අමතර කාලයක් ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමැතිවරුන්, අමාත්‍ය මණ්ඩලයෙන් පිටස්තරව පාර්ලිමේන්තුවේ සිටි මගේ පියා වැනි පුද්ගලයන් සියලුදෙනාම ෂෙනෝයි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් ආසියාන් සංවිධානය සමඟ එක්වන ලෙසත් රජයට බල කරනු ලැබූවා.

නමුත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාට අවාසනාවන්ත ලෙස මහා භාණ්ඩාගාර නිලධාරීන් උපදෙස් දී තිබුණේ ආර්ථිකය විවෘත කිරීමේ අවදානම නොගන්නා ලෙසයි. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමි නොවන නිසා ආසියාන් සංවිධානය සමඟ එකතු නොවන ලෙසත් විදේශ කටයුතු නිලධාරීන් එතුමාට පවසා තිබුණා.

අප දැන් වසර 56කට පසුව ආසියාන් සංවිධානයේ සිටිනවා. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරන බොහෝමයක් රටවල් මේ වන විට සමෘද්ධිමත් රටවල් බවට පත්ව තිබෙනවා. අප මොකක්ද කළේ? වසර 3කට පසු එනම් 1970දී ශ්‍රී ලංකාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වුණා. අප අපේ ප්‍රාග්ධන ව්‍යුහයන් බිඳ දමා ඉදිරියට ගියා. ඒ ආර්ථිකයේ විලංගුවලින් අප සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.

මේ වන විට ඔබ සංවිධානය ලෝකයේ 5 හෝ 4 වන විශාලතම ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව තිබෙනවා. අපි වසර 55ක් අවසානයේ බංකොලොත් වී සිටිනවා. ඉතින් මෙය තමයි අපගේ පසුතැවීමට හේතුව.

නමුත් අප මේ වන විට ඒ බංකොලොත්භාවයට මුහුණ දී එය පූර්ණ වශයෙන් පාලනයකට නතු කරගෙන තිබෙනවා. දැන් අප වේගයෙන් ඉදිරියට යෑමට අපේක්ෂා කරනවා. එහිදී අප ආසියාන් සංවිධානය පැමිණි ගමන්මඟ ආදර්ශයට ගෙන ආසියාන් සංවිධානය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මගේ රජයේ ප්‍රතිපත්තිය එයයි. අනෙක් රජයන්ගේ ප්‍රතිපත්තිය ද එයම වෙයි කියා මා විශ්වාස කරනවා. අග්නිදිග ආසියාව සමඟ අපට ඇති සම්බන්ධතාව වඩාත් ශක්තිමත් එකක් බව කිව යුතුයි. ඉන්දියාව සහ මාලදිවයින හැරුණුකොට අග්නිදිග ආසියාව සමඟ වඩාත්ම සමීප රට ශ්‍රී ලංකාවයි.

මහාවිහාර බුදුදහමේ ඉගැන්වීම් සමඟ ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමයේ කොටස් සමඟ පවතින ඉතාමත්ම සමීප සම්බන්ධතාව සහ රටවල් අතර, දීර්ඝ කාලීනව සිදුව ඇති අන්තර්ක්‍රියා දෙස බලන්න. සියලුම වර්ගවල මැලේ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනුරාධපුර රාජධානියේ ශ්‍රී විජය රජුගේ රාජ්‍ය සමයේ පැවති සම්බන්ධතා ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

අප රටවල් අතර අතීතයේ සිට පවතින සම්බන්ධතා මේ හරහා මැනවින් පිළිබිඹු කරනවා. අපට අපගේ සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා තවදුරටත් ගොඩනැඟිය යුතුව තිබෙනවා.

එනිසා මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී අත්‍යවශ්‍ය කරුණක් වන සිංගප්පූරුව සමඟ පළමුවෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට කටයුතු සම්පාදනය කළා. අපට එය නැවත අලුත් කිරීමට හැකි වී තිබෙනවා.

ඒ වගේම තායිලන්තය සහ අනෙකුත් ආසියාන් සංවිධානයේ රටවල් සමඟ ද මෙය ව්‍යාප්ත කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වනවා. එහි චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සාමාජිකත්වය දරනවා. එය ලෝකයේ බලවත්ම රටවල්වලින් කොටසක් නියෝජනය කරනවා. කලාපයේ වෙනත් රටවල් කිසිවක් තවමත් මෙයට අයැදුම් කර නැහැ.

නමුත් ශ්‍රී ලංකාව එම සංවිධානය සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත්, ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහාත් සාකච්ඡා ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා.

අපට සම්පූර්ණයෙන්ම ආසියාන් සංවිධානය වෙත ප්‍රවේශවීම සඳහා ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය වන්නේ මෙයයි.

අප ආසියාන් සංවිධානයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා අපට එයට ඇතුළුවීමට නොහැකි වුණා. දැන් අප කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ සම්බන්ධ වී ඉදිරියට යා යුතුයි. එය ප්‍රතික්ෂේප කිරීමට අපට හේතුවක් නැහැ.

අප නැඟෙනහිරත් සමඟ ආර්ථිකය දෙස බැලිය යුතුයි. සංවර්ධනය වන්නේ නැඟෙනහිරයි. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ගිවිසුම්ගත වීමට සාකච්ඡා කරන අතරතුරම ඉන්දියාව, බංග්ලාදේශය සමඟ ද ගිවිසුම්ගත වීම සඳහා සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. එමඟින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සිට නැඟෙනහිර දෙසින් ජපානය දක්වා පවතින සියලුම රටවල් සමඟ තවදුරටත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

අප අනුගමනය කරන ආර්ථික හා දේශපාලනික උපාය මාර්ගය මෙයයි. ඒ වගේම දේශපාලනික වශයෙන් ඉතාම සමීප සම්බන්ධතා පැවැත්වීම ඉතාම වැදගත්. අමාත්‍යාංශ මට්ටමින් මේ සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගැනීම තහවුරු කරන ලෙස මා මගේ විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දුන්නා.

ඒ වගේම මේ තත්ත්වයන් ගැන නිතරම විමසා බලා, නිතරම හමුවී සාකච්ඡා පවත්වා ගැටලු පවතින්නේ නම් ඒවා විසඳා ගනිමින් ඉදිරියට යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මා උපදෙස් දුන්නා. අපට ආපසු හැරී යා නොහැකියි. අප යා යුත්තේ ඉදිරියටයි. අප දැනට ජාත්‍යන්තරයේ පවතින තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් පසු වෙනවා. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ අප එකඟ වනවා. එම දැක්ම ඉදිරියට ගෙන යෑමට සහ ඒ හා අනුගත වෙමින් ඉදිරියට යෑමට අපගේ පූර්ණ සහයෝගය දෙනවා.

සමුද්‍ර මර්මස්ථානයක් ලෙස ඉන්දුනීසියාවට අපේ සහයෝගය දෙනවා. අපි එයින් ඉවත්ව ගොස් නැහැ. අපි මේ අර්බුද ජයගැනීම සඳහා එක්ව ඉදිරියට යමු. ආසියාන් සංවිධානයේ දැක්ම විසින් එහි එක් අන්තයක් ලෙස ඉන්දියානු සාගර කලාපයත් අනෙක් අන්තය ලෙස පැසිෆික් සාගර කලාපයත් හඳුනාගෙන තිබෙනවා.

අප ඉන්දීය සාගරයේ සිටින රාජ්‍යයක් වශයෙන් එය හමුදා මැදිහත්වීම්වලින් තොර කලාපයක් ලෙස ඉදිරියට ගෙන යෑමට හැකි බව සහතික කිරීමට අපට පුළුවන්. එනිසා සාමාජිකයන් ලෙස අපගේත් ආසියාන් සංවිධානයේත් දැක්ම සහ ඉලක්ක එක ලෙස පවතිනවා. මේ යෝජනාවට සහාය දැක්වීම සඳහා සෑම ක්ෂේත්‍රයකම අප එකට වැඩ කළ යුතුව තිබෙනවා.

මේ මහා සාගරයේ අප සහ ආසියාන් රටවල් කුඩා මාළුන් බව මතක තබා ගන්න. පොඩි මාළුන් ලෙස වෙන වෙනම ඉන්න විට අපව ඩැහැගන්න ඉතාම පහසුයි. ඒ නිසා සෑම දෙනා සමඟම ගනුදෙනු කිරීම, සෑම දෙනා සමඟම මිතුදම් පැවැත්වීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඔබට ඉදිරියෙන් යෑමට හෝ ඔබ අපගේ පසුපසින් තැබීමට අපට කිසිම තරගයක් නැති බව ද පැවසිය යුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳව ද අප ඉතා සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. දේශගුණික න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සිදු කර ඇති කැඳවීම අනුව දේශගුණික විපර්යාසයන්හි අර්බුදයේ බරපතළකම ඔබට අවබෝධ කරගත හැකියි.

දේශගුණික න්‍යාය පත්‍රය ගැන අප එක්ව වැඩ කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම නීල ආර්ථිකයේ විභවය අවබෝධ කර ගනිමින් ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාවට දේශගුණික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි වෙනවා. ඒ නිසා අපට එක්ව කිරීමට බොහෝ වැඩ තිබෙනවා. මා එයින් කොටසක් මෙහි දක්වා තිබෙනවා. ඒ නිසා අපට අත්වැල් බැඳගෙන ආසියාන් සංවිධානය සමඟ එකට වැඩ කිරීමට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී ඩිවි ගුස්ටිනා ටෝබිං මහත්මිය-

මිලියන 670කට අධික ජනගහනයක් සහිත, ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 8.8%ක් වන ආසියාන් සංවිධානය යනු ගෝලීය වශයෙන් තුන්වන විශාලතම වෙ‍ෙළඳපොළයි. ආසියාන් සංවිධානය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැදගත් කලාපීය හවුල්කරුවකු ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආසියාන් දූත මණ්ඩල විවිධ පාර්ශ්වකරුවන් ද සම්බන්ධ කරගනිමින් සාමූහිකව ක්‍රියාකාරකම් කීපයක් කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක් ඇති කර ගැනීමට සහ ජනතාව අතර, සබඳතා වැඩිදියුණු කිරීමටත් ආසියාන් සංවිධානය කැමැත්තෙන් සිටිනවා. ආසියාන් සංවිධානයේ අපේක්ෂාව වන්නේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු – පැසිෆික් කලාපයක් ඇති කිරීමයි.

ඉන්දු – පැසිෆික් කලාපයේ අන්තර් ක්‍රියා ශක්තිමත් කිරීමට කැමැති රටවල් සඳහා ආසියාන් සංවිධානය සෑමවිටම විවෘත බව කිව යුතුයි. ආසියාන් සංවිධානයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අප ශ්‍රී ලංකාව සමඟ ද අඛණ්ඩව කටයුතු කරන බවත් ගතික සහ බහුවිධ හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති බව මෙහිදී සඳහන් කිරීමට කැමැතියි.

ආර්ථිකය, ආරක්‍ෂාව, සෞඛ්‍යය, පාරිසරික සහ සමාජ සංස්කෘතික සහ දේශගුණික විපර්යාස ඇතුළු පොදු අභියෝගවලට මුහුණදීම සඳහා රීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඇතුළු හවුල් වටිනාකම්, මූලධර්ම සහ අවශ්‍යතා, ලොව පුරා රටවල් සමඟ සබඳතා කළමනාකරණය කිරීමේ පදනම සකස් කරනවා.

ඒ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ගොඩනැඟී ඇති හවුල්කාරිත්වය වසර ගණනාවක් සහ දශක ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අප සැවොම දැඩිව බලාපොරොත්තු වෙනවා. ආසියාන්හි වසර 57 තුළ, පොදු අභියෝග එකට එක්ව ආමන්ත්‍රණය කිරීමට සහ සැමට වැඩි අවස්ථා ගෙන ඒම සඳහා එකිනෙකා අතර සහයෝගීතා‍වයේ ප්‍රතිඥාව අලුත් කරමු.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ්, ජීවන් තොණ්ඩමන්, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් ඇඩම්, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක්, මියන්මාර තානාපති යූ හන්තු, ජාතික ආරක්ෂාව පිළිබඳ ‍ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *