“රාවණා-1” යනු ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව බව ඔබ දැන සිටියේද?
මෙම පර්යේෂණ චන්ද්‍රිකාව 2019 වසරේ නිර්මාණය කරන ලද්දේ ශ්‍රී ලංකික ඉංජිනේරුවන් විසින් වන අතර එය නිෂ්පාදනය කරන ලද්දේ ජපානයේ ‘කියුෂු’ තාක්ෂණික ආයතනය විසිනි.
එම තොරතුරුද ඇතුළත්ව, ශ්‍රී ලංකාවේ නැනෝ චන්ද්‍රිකා මෙහෙයුම්, නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය හැඳින්වීම, දුරස්ථ හඳුණාගැනීම් Remote sensing, ගෝලීය තොරතුරු පද්ධති Global Information Systems, සහ අභ්‍යවකාශගාමීන් විශ්වය ගවේශනය කරන්නේ කෙසේද? යන දේශන ඇතුළත් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක්, “ශ්‍රී ලාංකික කොරියානු විද්‍යාර්ථීන්ගේ සංගමය” AKOFE, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨය Faculty of Computing සමග එක්ව සංවිධානය කරන ලදී. ජාත්‍යන්තර කොරියානු සහයෝගිතා ආයතනය Korean International Cooperation Agency (KOICA ආයතනය) විසින් මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී.
“කොයිකා” ආයතනයේ අධ්‍යක්ෂ – මියුන්ජින් කිම් මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ – යොන් වන් කිම් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසාද් ජයවීර, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ෂිරන්ත හීන්කෙන්ද, අපරාධ විද්‍යා අංශයේ මහාචාර්ය ධනපාල විජේසිංහ, පරිගණක විද්‍යා පීඨයේ ආචාර්ය නුවන් ජයරත්න, භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලිලානි ආටිගල, කොයිකා විද්යාර්ථීන්ගේ සංගමයේ AKOFE සභාපති රොෂාන් සේරසිංහ, ලේකම් ධර්මානන්ද විජේසිංහ, උප සභාපති කවීන්ද්‍ර ජයවර්ධන, සංස්කාරක සමන්ත පුෂ්ප කුමාර, ආරාධිත දේශකයින් වූ, ආතර් සී ක්ලාර්ක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් චතුරංග සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ ආදීහු මෙම අවස්ථාවට සහභාගිවූ ප්‍රධාන ආරාධිතයන් අතර වූහ.
පළමු දේශනය – දුරස්ථ හඳුණාගැනීම්, ගෝලීය තොරතුරු පද්ධති සහ ඒවායේ ලාංකික භාවිතයන් – Introduction to Remote sensing and GIS and Its Application to Sri Lanka – ආතර් සී ක්ලාර්ක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් චතුරංග
දෙවන දේශනය – නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය හැඳින්වීම/ අභ්‍යවකාශ තාක්ෂණය හඳුණාගැනීම Introduction to Nano Satellite Technology as a starting point to acquire Space Technology – ආතර් සී ක්ලාර්ක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ/AKOFE සංස්කාරක සමන්ත පුෂ්ප කුමාර
තෙවන දේශනය – අභ්‍යවකාශගාමීන් විශ්වය ගවේශනය කරන්නේ කෙසේද? How Astronomers explore the Universe – ආතර් සී ක්ලාර්ක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ
මේ පිළිබඳව උනන්දුවක් දක්වන පරිගණක විද්‍යාර්ථීන් දෙසියයකට 200 අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සම්මණ්ත්‍රණය පැවැත්විණ.
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වන “රාවණා-1” සම්බන්ධව වැදගත් තොරතුරු සමුදායයක් මෙහිදී ප්‍රකාශ විය. “රාවණා-1” චන්ද්‍රිකාවේ පරිමාව ඝන සෙන්ටිමීටර 1000ක් පමණ වූ අතර (දිග, පළල, උස සෙන්ටි මීටර් 10ක් බැගින්වූ ඝනයකි.) බර කිලෝග්‍රෑම් 1.1කි. චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරකි.
මෙරට ප්‍රථම චන්ද්‍රිකාවට නම තැබීමේදී ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ ඉතිහාසය නියෝජනය කරන සත්‍ය නාමයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය. එහිදී යෝජිත පළමු නාමය වූයේ “දඩු මොණරය” යන්නයි.
දඩු මොණරය ශ්‍රී ලාංකේය ජනප්‍රවාදයේ දක්නට ලැබෙන පියාසර උපකරණයක් වන අතර එය ලෝකයේ නිර්මාණය කරන ලද පළමු ගුවන් යානය ලෙස ඉතිහාසඥයින් විසින් ප්‍රතීතනය කර ඇත. කෙසේ වෙතත් වචනයේ සංකීර්ණත්වය සහ ස්වදේශික නොවන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මෙම වචනය උච්චාරණය කිරීමේදී ඇති වන දුෂ්කරතාවය හේතුකොටගෙන එම නාමය ප්‍රතික්ෂේප විය. දුරාතීතයේ ශ්‍රී ලංකාව පාලනය කළ බව කියන, එමෙන්ම “දඩු මොණරයේ” නිර්මාතෘද වන, රාවණ රජතුමා ගේ නමින් චන්ද්‍රිකාව නම් කිරීමට දෙවනුව යෝජනා විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව “රාවණා-1” යනුවෙන් නම් කරනු ලැබිණ.
කියුබ් සැට් CubeSat-ප්‍රමාණයේවූ මෙම චන්ද්‍රිකාව 2019 අප්‍රේල් 17 වන දින Cygnus-NG-11 මෙහෙයුමේ කොටසක් ලෙස දියත් කරන ලද අතර, චන්ද්‍රිකාව පෙබරවාරි 18 වන දින ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය Japan Aerospace Exploration Agency (JAXA) වෙත භාර දෙන ලදී.
ඉන්පසුව එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය International Space Station (ISS) වෙත යවන ලැබූ පසුව එම මධ්‍යස්ථානය විසින් 2019 ජුනි 17 වන දින පෘථිවියට ඉහළින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී.
“රාවණා 1” චන්ද්‍රිකාව ශ්‍රී ලංකාව ඇතුළුව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටි රටවල ඡායාරූප, භූ තොරතුරු ආදිය ලබාගෙන ඇත. නැනෝසැට්ස් දත්ත සමුදායට අනුව, චන්ද්‍රිකාවේ මෙහෙවර වූයේ ‘437 MHz’ කලාපයේ එහි බීකන් එකේ කේතාංකිත කෙටි පණිවිඩ සැපයීමයි. දුරස්ථ දත්ත රැස් කිරීම සහ යානය තුළ සැකසීම සඳහා අඩු බලැති LoRa මොඩියුලේෂන් මත පදනම් වූ දුරස්ථ දත්ත එකතු කිරීම, මහජන ප්‍රවේශය සහ දැනුවත් කිරීම සඳහා රූපකරණ මෙහෙයුම, පෘථිවි චුම්බක ක්ෂේත්‍ර මැනීම ආදිය මෙම චන්ද්‍රිකාව විසින් සිදු කරන ලද මෙහෙයුම් අතර වෙයි.