ශ්‍රී ලංකාව තුළ( SDGs) තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම ඇතුළත් තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ග දියත් කරනවා..

 ශ්‍රී ලංකාව තුළ( SDGs) තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම ඇතුළත් තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ග දියත් කරනවා.. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

 SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජයීය කොමිසම (ESCAP) ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙනවා…

    -එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් Armida Alisjahbana

ශ්‍රී ලංකාව තුළ SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ නව උපාය මාර්ග අද (2024.01. 31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ESCAP හි විධායක අධ්‍යක්ෂවරිය ද වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් (Armida Alisjahbana) අර්මිදා අලිෂ්ජබානා මහත්මිය ඉදිරියේ දියත් කරන ලදී.
මෙරට දැක්ම තිරසාර ව්‍යාපාර සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීමකින් තොරව සාක්ෂාත් කරගත නොහැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. අද ව්‍යාපාර ආර්ථික වර්ධනයේ පණගැන්වීමක් ලෙස පමණක් නොව ධනාත්මක වෙනසක නියෝජිතයන් ලෙස ද දැවැන්ත බලයක් දරණ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රයේ ව්‍යාපාර ස්ථානගත කිරීම මගින් 2015 තිරසාර සංවර්ධන ඉලක්ක හෝ SDGs මෙම අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම විභවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස දැනුවත්ව සිටින බවත් එබැවින්, ශක්තිමත් රටක් යළි ගොඩනැගීම සඳහා වූ අපගේ අභිලාෂකාමී ගමනේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම, සවිබල ගැන්වීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර එකමුතු කිරීම තීරණාත්මක ලෙස සළකන බවත් පැවසීය.
SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරික අංශයේ වැදගත්කම අවධාරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළ එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් Armida Alisjahbana, SDGs සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට UN සහ ESCAP අඛණ්ඩව සහාය දෙන බව පැවසීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
ශ්‍රී ලංකාව වඩාත් දීප්තිමත් සහ තිරසර අනාගතයක් කරා යන ගමනේ තීරණාත්මක මොහොතක අපි සිටිනවා. ලෝකය පෙර නොවූ විරූ අභියෝග සමඟ පොරබදමින් සිටින බව අපි කවුරුත් දන්නවා. දේශගුණික විපර්යාස, ආර්ථික කැළඹීම් සහ සමාජ විෂමතා කිහිපයක් මෙලෙස නම් කළ හැකියි. මෙම තත්වයන් තුළ වුවත් අප රට ප්‍රකෘතිමත් වීමට පමණක් නොව, සමෘද්ධිමත් මෙන්ම වඩාත් තිරසාර සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීමට දැවැන්ත අවස්ථාවක් තිබෙනවා.
කොවිඩ් වසංගතය ලෝක ආර්ථිකය මන්දගාමී වීමට හේතු විය. ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට අපට UNESCAP ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ස්වභාව ධර්මයේ තිරසර පැවැත්මේ අවශ්‍යතාවය පැරණි බෞද්ධ හර පද්ධතියෙන් අපට උරුම වී තිබෙනවා. මිනිසා ස්වභාවධර්මයේ කොටසක් බවත් මිනිසුන් මෙන්ම අනෙකුත් ජීවීන් ද වැදගත් බවත් ධර්මය අවධාරණය කළා.
එම උරුමය මත පදනම්ව, තිරසර ව්‍යාපාර සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීමකින් තොරව නව ශ්‍රී ලංකාවක් සඳහා අපගේ දැක්ම සාක්ෂාත් කරගත නොහැකියි. අද ව්‍යාපාර ආර්ථික වර්ධනයේ ගාමක බලයක් ලෙස පමණක් නොව ධනාත්මක වෙනසක නියෝජිතයන් ලෙස ද අතිමහත් බලයක් දරනවා.
ජනාධිපතිතුමා විසින් නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි, කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ඒකාබද්ධ වූ පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් තරඟකාරී වර්ධනයේ කාර්යභාරය නව ආදර්ශයේ තීරණාත්මක අංගයක් ලෙස සැළකෙනවා. බහු-ආංශික ප්‍රයත්නයකින් බිහි වූ මෙම ශක්තිමත් උපාය මාර්ගය, ව්‍යාපාර සඳහා මූල්‍යමය වශයෙන් දියුණු වීමට මාර්ග සිතියමක් ඉදිරිපත් කරනවා පමණක් නොව අපගේ සමාජීය සහ පාරිසරික යහපැවැත්මට අර්ථවත් ලෙස දායක වෙනවා.
සෑම ව්‍යවසායකයෙකුට ම, සෑම ගොවියෙකුට ම, සෑම කුඩා ව්‍යාපාර හිමියෙකුට ම සමෘද්ධිමත් වීමට අවස්ථාව තිබිය යුතුයි. අනෙක් අතට, තිරසාරත්වය, හුදු පරිසරය සුරැකීමෙන් ඔබ්බට ගොස් සම්පත් කාර්යක්ෂමතාව, වගකිවයුතු සමාජ ව්‍යවහාරයන්, උසස් සදාචාරාත්මක ප්‍රමිතීන් සහ යහපාලනය ආවරණය කරයි. අපගේ ව්‍යාපාර දිගුකාලීන දැක්මක් ඇතිව ක්‍රියාත්මක විය යුතු අතර, ඒවායේ පාරිසරික බලපෑම අවම කර ගනිමින්, සමස්ත ධනාත්මක බලපෑම උපරිම කරමින්, සහ අනාගත පරම්පරාවන් සඳහා සමෘද්ධිමත් භාවයේ උරුමයක් ඉතිරි කළ යුතු යි.
ව්‍යවසායන් සහ ව්‍යවසායකයින් මෙන් ම, ඔවුන්ගේ ගනුදෙනුකරුවන් මෙන්ම ප්‍රජාව ද අන්තර්ගත කරගැනීම සහ තිරසාර ව්‍යාපාරවලින් ප්‍රතිලාභ ලැබිය යුතුය. එබැවින්, මෙම උපාය මාර්ගය හුදෙක් ලියවිල්ලක් නොවේ. එය ක්‍රියාවට නැංවීම සඳහා වන ඉල්ලීමක් වන අතර ජාතියක් ලෙස තිරසර බව සහ අන්තර්ගත කරගැනීමේ ප්‍රතිඥාවකි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස මම ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ මූලික වටිනාකම්වලට තිරසරභාවය සහ අන්තර්ගත කරගැනීම ඒකාබද්ධ කරන්න. ඔබගෙන් බොහෝ දෙනෙක් දැනටමත් ඔබගේ මෙහෙයුම්වල තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා ගමනක් ආරම්භ කර ඇති බව මම දන්නවා.
රාජ්‍ය ආයතනවල තිරසාර සහ අන්තර්ගත කරගැනීමේ ව්‍යාපාරික භාවිතයන් දිරිමත් කරන, නිලධාරිවාදී බාධා ඉවත් කරන සහ දියුණු ව්‍යසවසායක පරිසරයක් පෝෂණය කරන්නා වූ සහයෝගී ප්‍රතිපත්ති අවශ්‍යයි. දැනුවත් කිරීම්, උපදේශනය සහ ප්‍රජා සහභාගීත්වය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස මම සිවිල් සමාජ සංවිධානවලින් ඉල්ලා සිටිනවා. තිරසාරභාවයෙන් සැමට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින් ඔබ ව්‍යාපාර සහ,ප්‍රජාවන් අතර පාලම බවට පත් විය යුතු යි. තිරසාරත්වය සඳහා නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා කර්මාන්ත-විද්වත් සහයෝගිතාව ඉතා වැදගත් වනු ඇති.
අපගේ ශක්තීන් උපයෝගී කරගනිමින්, සමෘද්ධිය සහ තිරසාරත්වය අත්වැල් බැඳගෙන ගමන් කරන ශ්‍රී ලංකාවක් ගොඩනඟමු. කැපවීම, සහයෝගීතාවය සහ නොසැලෙන ක්‍රියාවන් සමඟින්, අපට මෙම සැලැස්ම විචිත්‍රවත් යථාර්ථයක් බවට පරිවර්තනය කළ හැකි බව මම තරයේ විශ්වාස කරනවා.
අමාත්‍යවරුන් වන ආචාර්ය රමේෂ් පතිරණ , මහින්ද අමරවීර, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *