තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “පියුරිටාස්  සත් දියවර” පෙරමුණ ගනී

තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය) සංකල්ප අනුගමනය කිරීම වඩාත් ඵලදායී වෙයි. ඒ වෙනුවෙන් සිය ආයතනික සමාජ වගකීම හොඳින් අවබෝධ කරගත් හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත හේකාබ් ආයතනය, ග්‍රාමීය ප්‍රදේශ වල සෞඛ්‍ය, අධ්‍යාපනික සහ සමාජීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “පියුරිටාස්  සත් දියවර” වැඩසටහන දියත් කළේය.

වර්තමානයේ උතුරුමැද සහ ඌව ප්‍රදේශවල ජනතාවට මුහුණදීමට සිදුවන දරුණු සෞඛ්‍ය ගැටළුවක් ලෙස නිදන්ගත වකුගඩු රෝගය හදුනාගත හැකිය. ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ පිරිසිදු පානීය ජලය හිඟකමයි. නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) බලපෑමට ලක් වූ ග්‍රාමීය ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ප්‍රතිආස්‍රැත (Reverse Osmosis)   ජල පිරිපහදු ඒකක පිහිටුවමින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනතාවට ශක්තියක් වීම සඳහා පියුරිටාස් සත් දියවර’ සමාජ සත්කාරමය වැඩසටහන හරහා හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් අද වන විට ගම්මාන 23 ක 43 800 ක් පමණ ජනතාවක් වෙත පිරිසිදු පානීය ජලය සපයනු ලබන අතර D 10 මෛත්‍රීපුර – පදවිය, මහියංගනය – ගින්නෝරුව, විරාණගම සහ ආනන්තපුරම් යන ප්‍රදේශ වල ජල පිරිපහදු ඒකක පිහිටුවීම සඳහා හේකාබ් ආයතනය පූර්ණ අනුග්‍රහය දක්වන ලදි.

මෙම රෝගය අදියර පහක් යටතේ වෙන්කරගත හැකි අතර ඉන් 1, 2 සහ 3 යන අදියර වල සිටින රෝගීන්ට පිරිසිදු ජලය පරිභෝජනයට සැලැස්වීමෙන් රෝගී තත්වය සමනය කිරීමට හැකි බව වෛද්‍ය මතයයි. ඒ අනුව පිරිසිදු ජල බිඳක් ලබාදීමෙන් ජිවිතයක් රැකගැනීමට හැකි අවස්ථාවක මෙම ව්‍යාපෘතිය දියත් කිරීම අගය කළ යුතු කරුණකි. “මම N. සිරිසේන. මම අවුරුදු 13 ක් පුරාවට වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. ඊට හේතු වුණේ අපේ ප්‍රදේශ වල ඇති පිරිසිදු ජල හිඟයයි. මෙම රෝගය නිසා අපේ ජීවිත කඩාගෙන වැටෙන්නේ හරිම සෝචනීය විදිහට. අපේ ගම ම රෝග භියෙන් ඇවිලුන විසාලාව වගේ. හේලීස් සමාගම ප්‍රමුඛ හේකාබ් ආයතනය මෙම ජල පිරිපහදු ඒකකය ලබාදීමෙන් ඒ ගිනිගත් සිත් වලට සහනයක් ගෙනාවා. අපිට මෙම මධ්‍යස්ථානය හරහා දැන් පිරිසිදු ජලය ලැබෙනවා. ඒ නිසා මගෙ රෝගයත් කෙමෙන් කෙමෙන් සුව වෙනවා වගේ මට දැනෙනවා. මෙම ජල පිරිපහදු ඒකකය ස්ථාපිත කිරීමෙන් පසුව අපේ ගමෙන් අලුතින් වකුගඩු රෝගීන් වාර්තා වුණේ නෑ. ඒ සම්බන්ධයෙන් අපි ඇත්තටම මෙම ආයතනයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ගම්වාසියෙකු සිය සතුට පලකරන ලදි.

පිපාසයට පිරිසිදු ජල බිඳක් සොයාගැනීමට නොහැකිව පීඩා විඳි D 10 මෛත්‍රීපුර- පදවිය ගම්මානයේ ජනතාවට දැන්ිපියුරිටාස් සත් දියවර’ හරහා පිරිසිදු පානීය ජලය ලබාදී ඇත. ඒ පිළිබඳව සියළු ගම්වාසීන් තම සතුට පලකරන අතර මෙම සමාජ සත්කාරය පිළිබඳව D 10 මෛත්‍රීපුර ප්‍රජා මූල සංවිධානයේ සභාපති ඒ.ටී. කුමාරදාස මහතා මෙසේ ප්‍රකාශ කරන ලදි.

“බොහෝ ආයතන පැමිණියා අපට පානීය ජලය ලබාදෙන බවට පවසමින්. ඒත් ඒ එක ව්‍යාපෘතියක් වත් ක්‍රියාත්මක වුණේ නෑ. හේලීස් ආයතනය පැමිණ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකර ජනතාවට ලබාදෙන විට දැණුන සතුට කියන්න වචන නෑ. හේලීස් සහ පියුරිටාස් ආයතනවල මහත්ම මහත්මීන් අපගේ අවශ්‍යතාවන් සොයාබලා බොහෝ කැපවීමෙන් මෙම කර්තව්‍ය ඉටුකළා. එම ආයතනවලට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉන් නොනැවතුණු මොවුන් අපේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ට මාසිකව ජල ලීටර් 100 ක් නොමිලේ ලබාදෙන වැඩපිළිවලටද දායකත්වය ලබාදුන්නා. ඒ වගේම අපේ පන්සලට, ගමේ පොදු අවස්ථා වලට සහ දානමය පිංකම් වලට නොමිලේ ජලය ලබාදෙනවා.”

හේලීස් සහ හේකාබ් සමාගම් වල පූර්ණ දායකත්වය යටතේ පියුරිටාස් ආයතනය මෙම ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය ලබාදෙන ලදි. එහිදී ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලයත් සමඟ එක්ව කල සමීක්ෂණයකදී පෙනී ගියේ දැඩි වශයෙන්ම වකුගඩු රෝග අවධානමට ලක් වූ ප්‍රදේශය වන්නේ පදවිය බවයි. “2014 දී මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිආස්‍රැත (Reverse Osmosis) ජල පිරිපහදු ඒකකයක් පිහිටෙවුවා. පසුව ප්‍රදේශයේ පවතින අඩු ලුහුඩුකම් සැලකිල්ලට ගනිමින් 2017 සිට ජලය ලබාදීමෙන් ඔබ්බට යමින් මෙම මධ්‍යස්ථානය වටා සමාජ සත්කාර වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් හේලීස් සමූහය විශාල මුදලක් ආයෝජනය කරනවා.” යනුවෙන් පියුරිටාස් ආයතනය සමඟ කටයුතු කරන කැලුම් මහතා ප්‍රකාශ කරන ලදි.   

හේකාබ් ආයතනය සිය 50 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ඉහත සඳහන් ප්‍රදේශ වලත්, මාදම්පේ, බඩල්ගම, වේවැල්දූව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප්‍රදේශ වලත් පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් දියත් කළ “සිසු දිවි පහන” වැඩසටහන පිළිබඳව සඳහන් කරමින් හේකාබ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක රජිත කාරියවසන් මහතා පැවසුවේ මෙම දුෂ්කර කාලය තුළ අපගේ ප්‍රජාවන්ට උපකාර කිරීම සාමූහික වගකීමක් බවත් අපේ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඇති හැකියාව මත බවත් ය. 

සිසු දිවි පහන වැඩසටහන යටතේ පදවිය D 10, මෛත්‍රී විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ටද දිනපතාම පෝෂණීය ආහාර වේලක් ලැබෙන අතර ඒ පිළිබඳව දරුවන් මෙන්ම දෙමාපියන්ද මහත් සතුටට පත්වෙයි. “මට ඉන්නේ එක දුවක්. එයාගෙ තාත්තා නෑ. මම හරි අමාරුවෙන් තමයි ඒ දරුවාව ජීවත් කරන්නේ. ඒ වගේ අපහසු අවස්ථාවක මෙවැනි පෝෂණීය ආහාර වේලක් දිනපතාම අපේ දරුවන්ට ලැබෙනවා කියන්නේ හරිම වටිනා දෙයක්. මෙම ආයතන මැදිහත් වීමෙන් අපේ දරුවන්ට පොත් පත් පවා ලබාදෙනවා. එය අපිට මහත් සහනයක්. ඒ වගේම අපි මෙම මධ්‍යස්ථානයේ දරුවන් වෙනුවෙන් පුස්තකාලයක් ඉදිකරලා තිබෙනවා. ඒ තුළින් අපේ දරුවන්ට පොත් පත් පරිශීලනය කර දැනුම ලබාගන්න පුළුවන්.” යනුවෙන් වසන්තා කුමාරි මහත්මිය පැවසුවාය. ඇය මෛත්‍රීපුර ජල පිරිපහදු මධ්‍යස්ථනයේ සේවය කරන අතර තම දරුවාවත් රැකබලාගෙන ගම් ප්‍රදේශයේම රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබාදීම ගැන හේකාබ් ආයතනයට කෘතඥ වෙයි. ඒ අනුව පෙනීයන්නේ මෙම ව්‍යාපෘතිය වක්‍රාකාරව රැකියා අවස්ථාද උත්පාදනය කර ඇති බවයි.

පදවිය D 10, මෛත්‍රී විද්‍යාලයේ දරුවන්ටද “පියුරිටාස්  සත් දියවර ඉදිරියට” වැඩසටහන හරහා ප්‍රතිලාභ හිමිවන අතර ඒ පිළිබදව එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙසේ අදහස් දක්වන ලදී. “මෙම විද්‍යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දුෂ්කර පාසලක්. මෙහි දරුවන් 222 ක් පමණ ඉගෙනුම ලබනවා. හේකාබ් ආයතනය මගින් දරුවන්ට ලබාදෙන මෙම පාසල් උපකරණ සහ ආධාර හරහා එම දරුවන්ව තව තවත් අධ්‍යාපනය වෙනුවෙන් දිරිමත් වෙනවා. මන්ද මෙම ප්‍රදේශයේ ඉන්නේ ආර්ථික අපහසුතා සහිත ජනතාව. දැන් පවතින පාසල් උපකරණ මිල ඔවුන්ට දරාගන්න අමාරුයි. මෙම ආධාර හරහා අපේ පාසලේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හොද උත්ප්‍රේරකයක් සපයනවා. මෙවැනි ආධාර උපකාර නිසා අපේ පාසලේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල වාර්තා කරන්න හැකිව තිබෙනවා. කලාප සහ පළාත් තරඟ වලින්ද ඉහළින් සමත් වන අතර සාමාන්‍ය පෙළ සඳහා 9A ලබාගත් දරුවන් ද ඉන්නවා. ඒ නිසා මෙවැනි උපකාර අපේ පාසල් වලට දැවැන්ත ශක්තියක්. රටේ අනාගත පරපුරේ දෑස් පාදන හේකාබ් ආයතනයට මම බෙහෙවින්ම කෘතඥ වෙනවා.”

තිරසාරත්ව සංකල්ප හරහා ඉහළම ප්‍රතිලාභ හිමිකර ගන්නේ අනාගත පරපුරයි. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය පරාජය කරමින් දැයේ අනාගතය නියෝජනය කරන මල් කැකුළු වලට වැඩෙන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හේකාබ් ආයතනය නිරතුරුවම ඇප කැප වෙයි. “අපේ දෙමාපියන් ජීවත් වන්නේ ගොවිතැනෙන්. දැන් පවතින මිල ගණන් එක්ක අපිට අවශ්‍ය පොත් පත් අරන් දෙන්න එයාලාට හරිම අපහසුයි. මෙවැනි ආධාර උපකාර අපගේ අධ්‍යාපනික ගමන් මඟට අත්වැලක් වන අතර ඒ අත්වැල හරහා උසස් පෙළ ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වරම් පවා ලබාගත් අක්කලා අයියලා ඉන්නවා හේකාබ් ආයතනය අපට ලබාදෙන පාසල් ලිපිද්‍රව්‍ය ආධාර නිසා දැන් අපි හරි උද්යෝගයෙන් පාසල් එනවා වගේම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වගේම අපිට දවල්ට පෝෂණීය ආහාර වේලක් ලැබෙනවා. එය අපේ ගතට වගේම හිතටත් ශක්තියක්. අපිත් හරිම ආසයි මෙම ආධාර උපකාර ප්‍රයෝජනයට අරන් ඉහළටම ඉගනගෙන මේ ආයතන වල නැන්දලා මාමලා වගේ ඉදිරියේදී දුප්පත් දරුවන්ට අත්වැලක් වෙන්න.” යනුවෙන් මෛත්‍රී විද්‍යාලයේ දරුවෝ මෙම වැඩසටහන හරහා තමන්ට ලැබෙන අත්වැල පිළිබඳව තම සතුට පල කළෝය.

සෞඛ්‍යමය, අධ්‍යාපනික සහ සමාජීය වශයෙන් ගම්වාසීන් සවිබලගන්වමින් ඉදිරියට යන මෙම සත් දියවර වැඩසටහන පිළිබඳව ගුරුවරයෙකු වශයෙන් තමන්ට දැනෙන හැඟීම පදවිය D 10, මෛත්‍රී විද්‍යාලයේ සුනන්ද කරුණාරත්න මහතා මෙසේ ගෙනහැර දක්වයි. “මෙම පාසලේ ඉන්නේ ආර්ථික අපහසුතා ගොන්නක් මැද ජීවිතය දිනන්න පොරබඳින දරුවන්. පොත් පත් අඩුපාඩුකම් නිසා ඇතැම් දරුවන් එකම පොතක විෂයන් සියල්ලම ලියනවා අපි දකිනවා. දක්ෂ දරුවන් රැසක් ඉන්නවා අධ්‍යාපනික අවශ්‍යතා ඉටුකරගන්න වත්කමක් නැතුව. ඒ වගේ වාතාවරණයක ක්‍රියාත්මක වන මෙවැනි සමාජ සත්කාරමය වැඩසටහන් සමාජයට ආදර්ශයක්. එසේම දහවලට ලැබෙන ආහාර වේල ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් සහ දරුවන්ගේ සිත් ගන්නා ලෙස ලබාදෙනවා. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.”

2023 වන විට, “පියුරිටාස් සත් දියවර ඉදිරියට” වැඩසටහන මඟින් හේලීස් ආයතනය පාසල් 23 කට ඉගැන්වීම සහ ඉගෙන ගැනීම තුළින් විශිෂ්ටත්වය කරා යාමට කැප වූ ඉගනුම් ආධාරක පහසුකම් සලසනු ලැබීය. ඒ අතර මාර්ගගත අධ්‍යාපනයට අත්වැලක් ලෙස ඩිජිටල් අධ්‍යාපනික වේදිකා ද, අධ්‍යාපනික කුසලතා සහ තාක්ෂණික දැනුම ඔප්නැංවීම වෙනුවෙන් ඩිජිටල් පංති කාමර ඉදිකරන ලදි. තවද හේකාබ් ආයතනය විසින් එම ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් පුස්තකාල ද ඉදිකරන ලද අතර මෙම පුස්තකාල මගින් සිසු දරු දැරියන්ට නොමිලේ උපකාරක පන්ති පැවැත්වීමේ පහසුකම් ද සලසා දී ඇත.

තිරසාර සංවර්ධනය සඳහා පවත්වාගත යුතු අවශ්‍යතාවන් ලෙස දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යෑම, දේශීය ඉතුරුම් හා ආයෝජන ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම, සම්පත් භාවිතයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, යටිතල පහසුකම් සහ ගුණාත්මක අධ්‍යාපනික වපසරියක් ස්ථාපිත කිරීම ආදිය දැක්විය හැක. දියුණු වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට යෑමේ දී විවිධ අභියෝගවලට මුහුණපෑමට සිදුවිය හැකිය. නමුත් මානව අවශ්‍යතාවන් පිළිබඳව ආකල්පමය වෙනස්කම් ඇති කිරීම, දරිද්‍රතාව අවම කිරීම, පරිසරය සුරකිමින් සම්පත් පරිහරණය කිරීම, ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා ප්‍රජා සහභාගිත්වය ලබාගැනීම සහ දැයේ අනාගත පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තිරසාර සංවර්ධනය ඇති කිරීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග කිහිපයකි.

හේලීස් ආයතනය සිය හේලීස් Lifecode මාර්ගෝපදේශ මාලාවට අනුකූල වෙමින් තිරසාර සංකල්ප වෙනුවෙන් මූලික අවධානයක් යොමු කරයි. හේකාබ් ආයතනය ද Haycarb Activate නමින් ක්‍රියාත්මක සිය තිරසාර දැක්ම පාදක කරගමින් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරයි. “පියුරිටාස්  සත් දියවර” වැඩසටහන යනු එම ගමනේ එක් සාර්ථක කඩඉමක් වන අතර “පියුරිටාස්  සත් දියවර ඉදිරියට” යනු එහි දිගුවකි.  

ඡායාරූප

1-        මෛත්‍රීපුර ප්‍රජා මූල ජල පිරිපහදු ඒකකයේ ජල නළයෙන් දිය දෝතක් බොන දරුවෙක්

2-        බඳුනකට පිරිසිදු ජලය පුරවන දරුවෙක්

3-        මෛත්‍රීපුර ප්‍රජා මූල ජල පිරිපහදු ඒකකයේ ඉදිරිපස

4-        මෛත්‍රීපුර ප්‍රජා මූල ජල පිරිපහදු ඒකකය හරහා ජලය බෙදාහරින ට්‍රැක්ටර් රථය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *