අභියාචනා සහ විරෝධා සලකා බැලීමෙන් පසු තවත් පවුල් 182,000ක් අස්වැසුමට සුදුසුකම් ලබති.. ෂෙහාන් සේමසිංහ


ගෙවීම් සඳහා සුදුසුකම් ලැබූ 200,000ක් තවමත් ගිණුම් ආරම්භ කර නෑ.

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිග මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව දැනට 1,854,000 අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.

    අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *