“රජයේ විශ්‍රාමිකයන්ට ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙනවා”

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් වුවත් ආණ්ඩුව ඔවුන්ව නොසලකා හැර කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. විවිධ කමිටු වාර්තාවලින් රාජ්‍ය සේවකයකුගේ වැටුප 70%කින් වැඩිවිය යුතු යැයි ඉදිරිපත් කොට තිබෙන අතර ඔවුන්ගේ ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් දෙන බවට සහතිකයක් අපි ඔබට ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.

අනුර දිසානායක මහතා මේ අදහස් පළ කළේ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති විශ්‍රාමිකයන්ගේ එකමුතුවේ ජාතික සමුළුවේදීය. එහිදී ඔහු මෙසේද කීය. ආණ්ඩුවක තිබෙන මූලික වගකීම තමයි ඒ රටේ පුරවැසියා බලා ගැනීම. ඔවුන්ට ශක්තිමත් ආදායම් මාර්ගයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පද්ධතියක්, නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හැදීම, මානසික සුවයෙන් ජීවත්විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම, සතුට, සිනහව තිබෙන පුරවැසියන් ගොඩනඟන එක. අපේ පුරවැසියන්ගෙන් යම් ප්‍රමාණයක් මේ ආර්ථිකයත් එක්ක ගැටගැසෙමින් තමන්ගේ ජීවන වෘත්තිය සකසා ගන්නවා. පුරවැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධ වීමට බැරිවුණු, ආර්ථිකයට සම්බන්ධ වුණත් ඒකෙ ප්‍රතිලාභ ප්‍රමාණවත් ලෙස නොලැබෙන ජනතාවක්. ඒ කියන්නේ රැකියාවක් කළත්, ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ජනතාවක්. වැඩිහිටිභාවයට පත්වීම හේතුකොටගෙන වැඩ කිරීමට ශ්‍රමය, කාලය හෝ වැඩ කළ නොහැකි, ඒ වගේම විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයට පත්වුණු ජනතාවක්. ආර්ථිකයෙන් පිටමං කරන ලද, දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධ නොවුණු ජනතාවගෙන්, ග්‍රාමීය දුප්පත්භාවය ගොඩනැඟී තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට අපට වැඩසටහනක් අවශ්‍ය නැද්ද? එම ජනතාව සඳහා අපට වැඩසටහනක් තිබිය යුතුයි.

ලෝකයේ සෑම රටකම ආර්ථිකයෙන් පිටමංකොට තිබෙන ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර ලබාදීම සිදුකරනවා. අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහාත් සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි දීර්ඝ කාලයක් ඔවුන් සහනාධාරයේ රඳවා තබා නොගෙන, ක්‍රමානුකූලව ඔවුන්ට ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් සකස්කර ගැනීමේ ආර්ථික වැඩපිළිවෙළකට බද්ධ කර ගත යුතුයි. ඒ වගේම ආබාධිත ජනතාවත් හව්හරණක් නැති වැඩිහිටි ජනතාවත් අපි බලාගත යුතුයි. පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ සේවය කොට, වයස හේතුවෙන් වැඩ අත්හැරි, ජනතාව රැක බලාගැනීමේ වගකීමත් රජයට තිබෙනවා. සෑම පුරවැසියකුටම ජීවත්වීම සඳහා හොඳ ආදායම් මාර්ගයක්, හොඳ නිවාසයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, නිසි අධ්‍යාපනයක්, මානසික සුවයක්, හොඳ ප්‍රවාහනයක් අවම පහසුකම් ලෙස තිබිය යුතුයි. අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් බහුතරයකට මේ දේ ලැබෙන්නේ නැහැ. නමුත් රටේ එක් පුරවැසි කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයන් සහිතවත්, පොදු පුරවැසියන්ට අවශේෂ තත්ත්වයකුත් නිර්මාණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, දීමනා, නිවාස, වාහන සියල්ල අහෝසි කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම ජීවන වියදම වේගයෙන් වර්ධනය වෙන විට, ඔවුන්ගේ එකම යැපුම් මාර්ගය වන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ දීමනාවන් වැඩි කළ යුතුයි. විවිධ කමිටු වාර්තාවලින් රාජ්‍ය සේවකයකුගේ වැටුප 70%කින් වැඩිවිය යුතු යැයි ඉදිරිපත් කොට තිබෙනවා, ඔබගේ ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ලබාදෙන බවට අපි ඔබට සහතිකයක් දෙන්නම්.

ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්හි ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් තිබෙනවා. ආර්ථිකයෙන් පිටමං කරන අය, ආර්ථිකයට හවුල් නොවෙන අය, වැඩිහිටි අය, විවිධ ආබාධිත කණ්ඩායම්, ව්‍යාපාර කඩා වැටීම්, හදිසි අර්බුදයන්හිදී ඒ අයට රැකවරණය ලබාදීම සඳහා ශක්තිමත් ආරක්ෂණ අරමුදලක් අවශ්‍යයි. අපේ ආර්ථිකයට එවැනි විශේෂ තත්ත්වයකට මුහුණදීම සඳහාවත් විශේෂිත පුද්ගලයන් බලා ගැනීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. මේ සියල්ල ගැටගැසී තිබෙන්නේ අපි අනුගමනය කරන ආර්ථික උපායමාර්ග සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වුණොත් පමණයි. ඒ නිසා මේ ආර්ථිකය නව යහපත් දිසාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. එතැනදි බලය ලබා ගැනීම තීරණාත්මකයි. මේ අවස්ථාවේ මතුවී තිබෙන ප්‍රශ්නයක් තමයි, පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද පැවැත්වෙන්නේ කියන එක. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට තිබෙනවා. ඔක්තෝබර් 16ත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපතිවරණය පැවැත් විය යුතුයි.

ජනාධිපතිවරණය දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ ඡන්දෙට බලපානවා. ඒ නිසා ඒගොල්ලන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුව ඉක්මනින් ගන්න. ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්. සජිත්ට වඩා ස.ජ.බෙ. ඔට්ටුවට දැමීම ඒගොල්ලන්ට වාසියි. ඒ නිසා ඒගොල්ලනුත් කැමැතියි, පාර්ලිමේන්තුව විසුරුවනවාට. ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි. ව්‍යවස්ථානුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දය පැවැත්වීමට නියමිතයි.

අපේ රටේ බලය හුවමාරු වෙන තීරණාත්මක මැතිවරණයක් එනවා. අපේ සමාජය නිශ්චිත වශයෙන් අවදි විය යුතුයි. එයාලා සතු විශාල මාධ්‍ය බලයක් තිබෙනවා. එයාලාට හැකියි, මුඛ්‍ය ප්‍රශ්නය යට ගහලා ජනතාව කැලේ ගෙනියන්න; අතුරු පාරවල්වල ගෙනියන්න. ඇත්ත ප්‍රශ්නය යට ගහලා සමාජයේ ව්‍යාකූලත්වයක් ඇති කරන්න. ඇත්ත ප්‍රශ්නය වෙනුවට නැවත නැවතත් 87/89ක් ගැන කියවනවා. 87/89 අපරාධකාරයෝ අපි නම්, ඇයි නන්දා මාලනි අපි වෙනුවෙන් සිංදු කියන්නේ? මෙතන කියපු සිංදුවේ මුළුමනින්ම තිබුණේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ස්වභාවය. ළමුන් පැහැර ගනිපු ආකාරය. වද කඳවුරු තිබුණු ආකාරය. ඇමැතිවරුන්ගේ ගෙවල්වල වද කඳවුරු තිබුණා. අනුරාධපුරයේ, පුත්තලමේ, මාතර, බදුල්ලේ එජාප ඇමැතිවරුන්ගේ ගෙවල්වල පවා වද කඳවුරු තිබුණා. මැර හමුදා හදාගෙන හිටියා. ඒ නිසා තමයි නන්දා මාලිනියට මෙවැනි සිංදු කියන්න සිදුවුණේ.

නමුත් එජාප, පොජප, සජබ කට්ටිය විසින් ඒක විශාල ව්‍යාකූලත්වයට නඟනවා, ජනතාව කැලේ ගෙනියන්න හදනවා. මම ජනතාවගෙන් ඉල්ලන්නේ, අපි නිශ්චිත ප්‍රශ්නයට කේන්ද්‍රගත වෙමු. සමාජයේ තිබෙනවා ඇත්ත සහ බොරුව කියා දෙකක්. අපේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක්. ඔවුන්ගේ මුළු දේශපාලනයම බොරුව මත පදනම් වූ දේශපාලනයක්. ඔවුන් ජනතාවට ඇත්තටම ආදරේ කරනවා නම්, ඒ නායකයන්ට පුළුවන්ද, විදින බෙහෙතට වස දාන්න. ජනතාවට ඇත්තටම ආදරය කරන නායකයන්ට පුළුවන්ද ජනතාව බොන තේ එකට දාන සීනිවලට ගහන බද්දෙන් සොරකම් කරන්න. මුළු රටේම වාහන පර්මිට් නතර කර තිබියදී, මන්ත්‍රිවරු 82ක් ලියුම් අස්සන් කරනවා ඒගොල්ලන්ට පර්මිට් ගන්න. මේ වගේ වෙලාවක නායකයන්ට පුළුවන්ද, එවැන්නකට අස්සන් කරන්න.

1948 අපේ රට නිදහස ලබා ගන්න කොට අපේ නායකයන්ට රට ගෙනියන්න ඕනෑ කුමන දිසාවටද කියා දැක්මක් තිබුණේ නැහැ. මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවත වෙනුවට නිෂ්පාදනය කේන්ද්‍ර කරගත්, නව ආර්ථික මාවතකට අවතීර්ණ විය යුතුයි. ඔවුන්ගේ මාවත සියල්ල විකුණන එක. අපේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය පොලිටිකල් කල්චර් එක. හර්ෂ ද සිල්වා කියනවා “මන්ත්‍රිවරු සොරකම් කරන එක නතර කරන්න නම්, පඩි වැඩි කරන්න ඕනෑ, තව පහසුකම් දෙන්න ඕනෑ” කියලා. මෙහි සීමාව කොතැනද? දේශපාලනයට එන්නෙම එයින් ලැබෙන බලයත්, වරදාන වරප්‍රසාද ලබා ගැනීමටත්, බලය හරහා ධනය උත්පාදනය කර ගැනීමටත්. හිනිදුම ප්‍රදේශයේ කැන්ටර් එකක තේ දලු පටවපු කැන්ටර් පියසේන, එම ප්‍රදේශයේ ප්‍රධාන තේ වතු හිමියා වී තිබෙනවා. අද ඇමැති පියසේන. තැපැල් නයින්ටියෙන් ගමන් කළ එස්.බී. දිසානායක, හඟුරන්කෙත මන්දිරය හැදුවේ කෙහොමද?. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මාධ්‍යවේදීන් අහනවා “ඔබට ෂර්ට් එක අරන් දුන්නේ කවුද?” කියලා. හැබැයි ඔවුන්ට බැරිවෙලා තිබෙනවා “අහවල් තැන හෝටලය හදා ගත්තේ කොහොමද?” කියා ඔවුන්ගෙන් අහන්න.

මේ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. ඔබට එක සහතිකයක් දෙන්නම්. මම හෝ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලවල සිටින කිසිවෙක් බිස්නස් කරන්න එන්නේ නැහැ. අපි මේ රටේ යහපත් ලෙස ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට අවශ්‍ය පරිසරය හදා දෙන්නම්.

අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රිවරුන්ට පර්මිට් නැහැ. මන්ත්‍රි ධුරය දරන කාලයට වාහනයක් දෙනවා. සේවා කාලය අවසානයේදී එයා වාහනය දී ගෙදර යන්න ඕනෑ. නිවාස දීම, ජනාධිපති මන්දිර නඩත්තු කරන එක, විශ්‍රාමික ජනාධිපතිවරු බලාගන්න එක නතර කරන්න ඕනෑ. මේ දේශපාලන සංස්කෘතිය නතර කිරීම අපට පැවරුණු වගකීමක්. දේශපාලකයා නීතියටත්, පුරවැසියාටත් වඩා උඩින් ඉන්න

කෙනෙක් වෙන්න බැහැ. මීට වඩා හොඳ රටක් බවට පත් කරන්න, පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. යහපත් දේද, අයහපත් දේද, සත්‍යයද, බොරුවද අවංකභාවයද, ව්‍යාජත්වයද යන්න අපට තෝරා ගැනීමක් අප ඉදිරියේ තිබෙනවා. නිවැරදි තෝරා ගැනීම වෙනුවෙන් අපි එකතු වෙමු.

-අනුරාධා හේරත් (මව්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *