පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ඉකුත් සිකුරාදා සිට ස්ථිර සේවකයින්…- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2024.06.15 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිණි.

චීන රජයෙන් ලද, මෙම එක් යන්ත්‍රයක් මගින් පවුල් කිහිපයකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මාන වල පවුල් රැසකට මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවේ. ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම, ග්‍රාමීය ව්‍යවසායකයන් බිහි කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණ වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“බරපතළ අර්බුදයකින් ක්‍රමානුකූලව ගොඩ එමින් සිටින අපේ රටේ ආර්ථිකය කෙමෙන් ලියලමින් පවතිනවා. නමුත්, තවමත් අපට බරපතළ අභියෝග රාශියකට මුහුණ දෙන්න තිබෙනවා. ඒ අතර අඩු ආදායම්ලාභීන් ගේ අමාරුකම් තේරුම් ගනිමින් ඔවුන්ට හයියක් වෙන්න අවශ්‍යයි. ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්ති විදීමේ හැකියාව ඇති කරන්නයි රජය මෙම ව්‍යාපෘතිය රට පුරාම දියත් කර තිබෙන්නේ. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් තත්ත්වය පියවරෙන් පියවර වැඩිකිරීමත් අරමුණක්.

කුකුළු පැටවුන් ඇති කිරීම ග්‍රාමීය ගෘහ කර්මාන්තය ලෙස ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්. ගමේ පවුල් අතර නිසි පුහුණුවක් තුළින් මෙම ව්‍යපාරය පවත්වා ගෙන යා හැකියි.

රට පුරා විවිධ බොහෝ මිත්‍යාවන් පැතිරෙනවා. අපේ සිංහල කතාවේ හැටියට ඒ බොහෝ මිත්‍යාවන් අතේ පැලවෙන බොරු. අයි.එම්.එෆ් එකෙන් මෙලෝ සතයක් හම්බවෙන්නේ නැහැ කියලා පහුගිය කාලය පුරාම කිව්වා. අද වෙනකොට අයි.එම්.එෆ් එක ගිවිසුම් ප්‍රකාරව ඒ මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා. මේ විදියට සල්ලි ගන්න වෙන්නේ පවතින ආර්ථික තත්ත්වයෙන් හිස ඔසවන්න. ඒ මගින් ආර්ථික වර්ධනය හා විදේශ විනිමය උපයන ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග ගෙන ජනතාවගේ දියුණුව සඳහා පරිවර්තනය කරගැනීමට අවශ්‍යයි.

ඒ නිසා ඈත එපිට ගම් නියම්ගම් දක්වා වූ දියුණුවකට හා ආදායම් මාර්ග වැඩිවීමකට පරිසරය පරිවර්තනය කරගත යුතුයි. අපි ගමන්කරමින් සිටින්නේ ඒ ඉලක්කයටයි.

අමාරුකම් මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ට ලබා දිය හැකි දීමනා වැඩිකර තිබෙනවා. ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන්ට හා විවිධ ක්ෂේත්‍රවල සේවකයන් තුළ ඒ විශ්වාසය තව තවත් වැඩි කරයි. ඒ වගේම තවත් ඔබ බලාපොරොත්තුවෙන් සිටි තවත් කාරණාවක් ඉෂ්ට කරලයි අපි ආවේ. ඒ සියලු පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන් ගිය සිකුරාදා සිට ස්ථිර සේවකයන් බවට පත්කිරීම.”

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කුරුණෑගල දිසාපති ආර්. එම්.ආර්. රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් හා ජනතාව එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *