අගමැතිවරයා ලෙස තමා භාර ගත්තේ අනතුරුදායක අභියෝගයක් වුවත් පෝලිම් නැති, විදුලි බලය නොකපන, නිදහසේ කෘෂිකර්මාන්තය කරගෙන යා හැකි, මිනිස් ශ්‍රමය අරගල භුමිවල නාස්ති නොවන, සැමටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙන යා හැකි, තුන් වේල කා ජීවත් විය හැකි රටක් ගොඩනැඟීමේ අභියෝගය ජීවිතය පරදුවට තබා ජය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) පැවසීය. සිය අරමුණ සහ කැප වීම පුද්ගලයකු, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නොව මුළු රටේම ජනතාව බේරා ගැනීමත් තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීමත් බව අවධාරණය කළ අගමැතිවරයා ඒ අභියෝගය ජය ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය.

කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය තුළ අප සැමට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වන බව අවධාරණය කළ ඒ මහතා භයානක වුවත් අප්‍රසන්න වුවත් ඇත්ත තත්ත්වය මෙය බවත් ජනතාවට කරුණු සඟවා බොරු කීමට තමා කිසිසේත්ම කැමති නැති බවත් කීය.

එහෙත් මේ තත්ත්වය කෙටිකාලීන බව අවධාරණය කළ අගමැතිවරයා මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය දීමට පොරොන්දු වී ඇති හෙයින් ඉදිරි මාස කිහිපයේදී මේ අර්බුදයෙන් ගොඩ යන්න හැකි බවට විශ්වාසය පළ කළේය.

දැනට පවතින මේ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගිත්වයෙන් වහාම පිහිටු වීමට කටයුතු කළ යුතු බවත් එහිදී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට හැකි වන බවටත් විශ්වාසය පළ කළේය.

By Saman

Leave a Reply

Your email address will not be published.