සුකුමලී සිංහල චිත‍්‍රපටයෙන් රංගනයට පිවිස ගිනස් වාර්තාවක් තැබූ දකුණු ඉන්දියානු සිනමා නිළි මනෝරාමා….

Sunday, 18 October 2015

16-1424069417-manoramanomoreඇය අපේ සිනමාවේ එක් පරම්පරාවක අවසාන භාගය හෙළි කරන බැව් පෙන්වන හෙයිනි. ඉන්දීය සිනමාවෙන් ගිනස් වාර්තා තැබූ මනෝරාමා සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වනුයේ කෙලෙසද? ඇත්ත නම් ඇගේ මුල්ම රංගනය නැතහොත් ඇය කැමරාවට මුලින්ම මුහුණ දෙනුයේ සිංහල චිත්‍රපටයකට වීමය. ඒ සුකුමලී චිත්‍රපටයයි. සුකුමලී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේත් කැමරාව මෙහෙය වන ලද්දේත් එම්. මස්තාන් විසිනි. 

මේ ඇය පිළිබදව සරසවිය පුවත්පතේ කතෘ අරුණ ගුණරත්න තැබූ සටහනකි….

දෙමළ චිත්‍රපට නරඹන ප්‍රේ්ක්ෂකයන් අතර මමෝරාමා යනු අතිශය ජනප්‍රිය නිළියකි. විටෙක කරුණාවන්ත මවක හෝ මිත්තනියක ලෙස ද,නැතහොත් විකට චරිතයක එසේ නැතහොත් සේවිකාවක ලෙස හෝ ආදී වශයෙන් විවිධ චරිත නිරූපණය කළ ඇය දෙමළ සිනමාවේ අංක එකේ නිළියක නොවූ බව ඇත්තය. එහෙත් ඇය චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් කවුරුත් අතිශය ආදරය කළ නිළියක බව නම් සහතිකය. එහෙත් මනෝරාමා ගැන ලියන්නට මා තීරණය කළේ ඇයි? ගිනස් වාර්තා පොත පිරික්සන්නෙකුට ලොව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑ නිළිය ලෙස සඳහන් වනුයේ මනෝරාමාය.

1985 වසරේදී ගිනස් වාර්තා පොතට ඇය ඇතුළත් වන විට ඇය රඟපෑ චිත්‍රපට 1500 ඉක්මවා තිබිණි. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට දායක වූ සිනමා නළුවා ලෙස ගිනස් වාර්තා පොතේ සඳහන් වනුයේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය විකට නළු බ්‍රහ්මානන්දන්ය. බ්‍රහ්මානන්දන් 2007 වන විට චිත්‍රපට 754 ක රඟපා තිබිණි. ඒ හැරත් කේරල නළු ප්‍රේම් නසීර් ගිනස් වාර්තා පොතේ තබා ඇත්තේ එසේ මෙසේ වාර්තාවක් නොවේ. ඔහු චිත්‍රපට 610 ක ප්‍රධාන චරිත රඟපෑවේය. එකම නිළියක සමඟ චිත්‍රපට 107 ක රඟපෑවේය. එකම අවුරුද්දක ඔහුගේ චිත්‍රපට 39 ක් තිරගත විය. ඔහු තිරයේදී නිළියන් 80 කට පෙම් කළේය.

එහෙත් මේ සියල්ල ගිනස් වාර්තා පොතේ තිබියදී මනෝරාමා ගැන ලියන්නට මා තෝරා ගත්තේ එක් කරුණක් හේතුවෙනි. එනම් ඇය අපේ සිනමාවේ එක් පරම්පරාවක අවසාන භාගය හෙළි කරන බැව් පෙන්වන හෙයිනි. ඉන්දීය සිනමාවෙන් ගිනස් වාර්තා තැබූ මනෝරාමා සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වනුයේ කෙලෙසද? ඇත්ත නම් ඇගේ මුල්ම රංගනය නැතහොත් ඇය කැමරාවට මුලින්ම මුහුණ දෙනුයේ සිංහල චිත්‍රපටයකට වීමය. ඒ සුකුමලී චිත්‍රපටයයි. සුකුමලී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේත් කැමරාව මෙහෙය වන ලද්දේත් එම්. මස්තාන් විසිනි. දකුණු ඉන්දීය සිනමාවේ මුල්වරට චිත්‍රාගාරයකින් බැහැර රූ ගැන් වූ කැමරා ශිල්පියා ලෙස සැලකෙණුයේ මස්තාන්ය. පසු කලෙක ලංකාවට පැමිණ විජයා චිත්‍රාගාරයේ ප්‍රධාන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් නව පරම්පරාවක් ගොඩනැඟුවේ ඒ මස්තාන්ය. මෙරටට පැමිණ චිත්‍රපට කර්මාන්තයට දායක වන්නට පළමුව ඔහු තවත් සිංහල චිත්‍රපට කිහිපයකටම ඉන්දියාවේදී දායක විය. ඒ අශෝකමාලා, සුජාතා යන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා වෙමිනි. ලංකාවේදී ඔහු ධීවරයෝ, අල්ලපු ගෙදර, සූර චෞරයා, ආත්ම පූජා වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක් නිර්මාණය කළේය. මමෝරාමා මුලින්ම කැමරාවට මුහුණ දෙන ලද්දේ මස්තාන් විසින් මෙහෙයවන ලද සුකුමලී චිත්‍රපටයටය. සුකුමලී නිෂ්පාදනය කරන ලද්දේ එම්. එස්. සිවසාමි විසිනි. රීටා රත්නායක, අයේෂා වීරකෝන්, ලැඩී රණසිංහ, ආනන්ද වීරකෝන් සහ ක්‍රිස්ටි ලොනාඩ් පෙරේරා එහි චරිත නිරූපණය කළහ.

සාමාන්‍යයෙන් හැම විටම පවසා සිටිනුයේ දකුණු ඉන්දියානු සිනමාවෙන් ශ්‍රී ලාංකික සිනමාවට බොහෝ දේ ලැබුණු බවය. කොටින්ම කඩවුණු පොරොන්දුව නිර්මාණය කිරීම එකල සිටි ඇතැම් විචාරකයෙකු දුටුවේ ඉන්දීය චිත්‍රපට කතා කරන භාෂාවන් ගොන්නට තවත් භාෂාවක් එක් වූ හැටියටය. සමහරුන් කියන ලද්දේ සිංහල සිනමාව යනු ඉන්දියානු සිනමාවේ දහතුන් වැනි භාෂාව බවයි.

මමෝරාමා උපත ලද්දේ ගෝපි ශාන්තා යන නමිනි. 1937 මැයි 26 වැනිදා උපත ලද ඇය 2015 ඔක්තෝම්බර් 10 වැනිදා මිය යන විට අවුරුදු 78 ක් ජීවිතය ගෙවා තිබුණි. ඒ වන විට ඇය 1500 කට වැඩි චිත්‍රපට සංඛ්‍යාවකත් දහසකට වැඩි වේදිකා නාට්‍යවලත් තවත් ගණනය කළ නොහැකි ටෙලි නාට්‍යවලත් චරිත මවා තිබුණාය. ඉන්දියාවේ තිබෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද, ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානයෙන් ද පිදුම් ලද ඇය ඉන්දීය ජාතික සිනමා උලෙළේදී හොඳම සහාය නිළිය ලෙස ‘පුදිය පාදේ’ චිත්‍රපටය උදෙසා සම්මාන දිනා ගත්තාය.

ඇය ඉපදුණේ එවකට බ්‍රිතාන්‍යයට අයත් මදුරාසි කොලනියේ නැතහොත් වර්තමානයේ තමිල්නාඩුවේ තිරුවායුර් දිස්ත්‍රික්කයේ මන්නාරගුඩි නගරයේය. ඇයගේ පියා කාසි කිලකුඩායා නම් වූ අතර අම්මා රාමමුර්තානි නම් විය. දියණියක ප්‍රසූත කළ වරදට ඇගේ පියා විසින් මවත් සමඟම දැරිය ද නිවසින් පලවා හැරියාය.

එතැන් පටන් මේ දැරිය ජීවත් කරවන්නට අම්මා මහත් සේ දුක් වින්දාය. බැල මෙහෙවර කළාය. ජීවිතයට මුහුණ දීම සඳහා මේ කුඩා දැරිය දොළොස් හැවිරිදි වියේදී වේදිකාවට ගොඩ වූවාය. ඒ හේතුවෙන් රැඟුමෙන් පමණක් නොව ගැයුමෙන් ද ප්‍රේක්ෂකයන් පිනවන්නට ඇය සමත් වූවාය. ඒ අවදියේදී ජනප්‍රියව තිබූ වයිරම් නාටක සභාව නම් නාට්‍ය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වූ ඇය පසුව සුප්‍රකට නාට්‍යකරුවෙකු වූ එස්. එස්. රාජේන්ද්‍රන් හා එක් වූවාය. තමිල්නාඩුවේ විවිධ පළාත්වලට අයත් විවිධ පළාත්වලට අයත් විවිධ උච්චාරණ රටාවන් වහා ග්‍රහණය කර ගන්නටත් ඉතා පැහැදිලිව දෙබස් කියන්නටත් ඇයට හැකියාව තිබුණි. එස්. එස්. රාජේන්ද්‍රන්ගේ එස්. එස්. ආර්. නාටක මන්දාම් සමාගමට බැඳුණු ඇය එමඟින් වේදිකා ගත කරන ලද නාට්‍ය ඔස්සේ මුළු මහත් තමිල්නාඩුව පුරාම හපන්කම් පෙන්නුවාය. ගෝපි ශාන්තාම් නම් ඇගේ නම මනෝරාමා ලෙස වෙනස් කරන ලද්දේ නාට්‍ය අධක්ෂවරයෙකු වූ තිරුවෙන්නාඩම් සහ සංගීතඥ ත්‍යාගරාජන් විසිනි. සුකුමලී චිත්‍රපටයේ සුළු චරිතයකින් පසු ඇයට චිත්‍රපට කිහිපයක්ම රඟපෑමට ලැබුණි. ‘මල ඉට්ටා මංගල්’ එහි මුල්ම අවස්ථාවයි. කොංචුම් කුමාරුම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ජනප්‍රිය වූ ඇය එක දිගට චිත්‍රපට පනහක පමණ ජනප්‍රිය විකට නළුවෙකුව සිටි නාගේෂ් සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේය. කොංඩුම් කුමාරුම් චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන පසු කලෙක මනෝරාමා කියන්නේ මෙහෙම කතාවකි. ‘මා පෙම්වතියගේ චරිතය රගපෑවා නම් අවුරුදු හතරකින් පහකින් කර්මාන්තයෙන් එළියට විසි වෙනවා. නමුත් විකට නිළියක් ලෙස රඟපෑ නිසා මට දිගටම රඟපාන්නට ලැබුණා. කුසලතා තිබෙනවා නම් ඕනැම චරිතයක් රඟපාන්නට ලැබීම සමඟ දීර්ඝ කාලයක් රැඳී සිටින්නටත් පුළුවන්.

ඇය දෙමළ සිනමාවට අමතරව තෙළිඟු, හින්දි, මලයාලම්, කණ්ණඩ ආදී විවිධ භාෂාවලින් චරිත නිරූපණ්‍ය කළාය. බොහෝ දෙනා නොදන්නා නමුදු ඇය ගායිකාවක ලෙස ද දීර්ඝ ඉතිහාසයකට හිමිකම් පෑවාය. වර්තමාන පරපුරේ ඒ. ආර්. රහුමාන් පවා ඇය වෙනුවෙන් සංගීතය නිර්මාණය කර ඇත්තේය. එපමණක් නොව එම්. ජී. ආර්., සිවාජි, රජිනි කාන්ත්, කමලහසන් මෙන්ම ඊයේ පෙරේදා තිරයට පැමිණි නළුවන් සමඟම ඇය චරිත නිරූපණය කළාය. අවසාන භාගයේ ඇය සමඟ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය කළ සාකච්ඡාවකදී මීළඟ ආත්මයේදී ද මමෝරාමා වන්නට ප්‍රාර්ථනා කරන බව ද, මගේ අම්මා ඇතුලු සියල්ල මා වටා එවිට සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවාය. ඇගේ විවාහය පැවැතියේ වසර දෙකකි. ඇයගේ එකම පුතු භූපති ජනප්‍රිය ගායකයකු විය. දීර්ඝ කාලයක් රංගනයේ යෙදීම නිසා ඇය දෙමළ සිනමාවේ මව පමණක් නොව ආච්චි ද වූවාය. මනෝරාමා පමණක් නොව දකුණු ඉන්දියානු සිනමාවේ සිට ලාංකික සිනමාවට සම්බන්ධකම් පැවැත් වූ බොහෝ දෙනා ද දැන් ජීවතුන් අතර නැත. මනෝරාමාගේ මෙන්ම මුල් යුගයේ අතිරේක නළුවන් ලෙස සිංහල චිත්‍රපට සඳහා දායක වූ ඉන්දියානුවන් සංඛ්‍යාව ඉමහත්ය. ඔවුන් නම් දැරූ තාක්ෂණික ශිල්පීන් පමණක් නොවේ.

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු අතර වැජඹුණු එම්. ජී. රාමචන්ද්‍රන් මෙන්ම තවමනි දේවි ද මෙරට උපන්නන්ය. තවමනි දේවි නම් යාපනයේ තරුණියකි. පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ ශිවාජි ගනේෂන් හා මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟද්දී එහි අතිරේක චරිතයක් නිරූපණය කරන ලද්දේ ශ්‍රී දේවි බැව් බොහෝ දෙනා අතර අප්‍රකට සිදුවීමකි. වර්තමාන තමිල්නාඩු නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර් වසර තිස් ගණනාවකට එපිට කෙසේ හෝ චිත්‍රපටයක රඟපෑමේ අරමුණින් ලංකාවට ගොඩ බැස්සේය. ඒ සම්මානනීය සිනමාකරු ටී. අර්ජුනගේ උදව් ඉල්ලාගෙනය.

1953 වසරේ මෙරට උපන් බොහෝ දැරියනට සුජාතා යන නාමය ලැබුණු වග නොරහසකි. ඒ සුජාතා චිත්‍රපටය ලද අති සාර්ථකත්වය නිසාය. සුජාතා චිත්‍රපටයේ සුජාතා නම් ලද තැනැත්තියන් මෙරට පමණක් නොව ඉන්දියාවේද උන්නාය. 70 – 80 දශකයේ කමල්හසන්, රැජිණි කාන්ත් ආදීන්ගේ පෙම්වතිය ලෙස ද පසු කලක මව ලෙස ද ජනප්‍රිය චිත්‍රපට රාශියක රඟපෑ දෙමළ නිළි සුජාතා ද ලංකාවේ සුජාතාගෙන් නම ලද්දියකි. ඇය උපන්නේ සුජාතා අති සාර්ථකව තිරගත වෙද්දී දකුණු ලක අගනුවර ගාල්ලේදීය. ඉඳින් ඇයට සුජාතා ලෙස නම ලැබුණේ සිංහල සුජාතා නිසා විය නොහැකිද?

එදා දකුණු ඉන්දිය සිනමාවෙන් සෘජුවම ලාංකික සිනමාවට දායක වූ බහුතරයක් අද ජීවතුන් අතර නැත. රම්‍යලතා, ප්‍රේම තරගය, නළඟන, ගංතෙර වැනි චිත්‍රපට තැනූ ඒ. බී. රාජ් නම් 92 හැවිරිදි වියේ පසු වෙයි. ඔහු ලංකාවට පැමිණ සිංහල චිත්‍රපට නිර්මාණය කරන ලද ප්‍රථම ඉන්දියානුවාය. වර්තමාන ජනප්‍රිය නිළි සරණ්‍යාගේ පියාණන්ය. තවත් ඉතිරිව සිටින ඒක් සිනමාකරුවකු නම කේ. එස්. සේතුමාධවන්ය. සේතු මාධවන් සිංහල වීර විජය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ලොවට එක් විය. පසු කලෙක දෙමළ හා මලයාලම් සිනමාව වෙනුවෙන් විශිෂ්ට චිත්‍රපට රැසක් නිර්මාණ්‍ය කළ ඔහු එරට ජාතික සම්මානයට ද පාත්‍ර විය.