2022 දී පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් අනතුරුව බිලියන 313ක ලාබ ලබයි.
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්
- මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද වන බවයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිපිළිවෙළ යටතේ පිරිවැයට සරිලන මිලක් නියම කිරීම සඳහා රජය ගත් පියවර ද මෙම ලාභ ලැබීම සඳහා හේතු වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පෙර පැවැති සෑම රජයක් ම ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා සහන මිල ක්‍රමයක් ක්‍රියාත්මක කළේ ජනතාවට සහන සැලසීමේ අරමුණෙනි. එහි ප්‍රතිඵලය ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදකට මුහුණ දීමයි. එහෙත් මෙවර අදාළ සේවාවන්ට පිරිවැයට සරලන මිලක් නියම කරමින් අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත් බවයි හෙතෙම පෙන්වා දුන්නේ. එබැවින් අස්වැසුම මගින් ඍජුව සහන හිමි වන්නේ මිලියන 2ක ජනතාවට වුව ද සමස්ත මිලියන 22ක ජනතාවට ම එමගින් වක්‍රව සහන හිමි වන බව සේමසිංහ මහතා පවසයි. සමෘද්ධි වැඩසටහන මගින් හිමි වූයේ රුපියල් 1,500ක අවම මුදලක් සහ රුපියල් 4,500ක උපරිම මුදලකි. නමුත් අස්වැසුම අවම ප්‍රතිලාභය මේ වන විට රුපියල් 5,000 දක්වා ඉහළ නංවා ඇති අතර උපරිම ප්‍රතිලාභය රුපියල් 15,000ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණ වී තිබේ. දෙවැනි අදියරේ අයදුම්පත් කැඳවීම ආරම්භ කළ පෙබරවාරි මස 15 සිහ අද දින දක්වා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 30,000කට ආසන්න වන අතර ඉන් 8,750ක් අයදුම් පත් යොමු කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යල මගින් වන අතර සෙසු පිරිස ඍජුවම අන්තර් ජාලය මගින් අයදුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක් වෙමිනි.
සමීක්ෂණ ආයතන මගින් පෙන්වා දී ඇති පරිදි මෙරට ක්‍රියාත්මක වූ සහන වැඩසටහන්වලින් ප්‍රතිලාභ හිමි වී ඇත්තේ සුදුසු කණ්ඩායමෙන් 48%කට පමණක් වන බවත් 12%ක නුසුදුස්සන් පිරිසක් ද අදාළ ප්‍රතිලාභ ලබා ඇති බවත් තහවුරු වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත් අස්වැසුම වැඩසටහන ඒ සියල්ල සඳහා පැහැදිලි පිළිතුරක් සපයමින් සාර්ථකත්වය කරා ගමන් කරමින් ඇති බව හෙතෙම කියා සිටියේ ය.