“විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යයන් වගකීමකින් හා විනිවිදභාවයකින් යුතු නව ප්‍රවේශයකට අනුව සිදු කළ හැකියි”
-අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න-
ජාතික අධ්‍යාපන ආයතනය තුළ විවෘත වූ නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ එම ආයතනයේ කාර්යයන් වගකීමකින් හා විනිවිදභාවයකින් යුතු නව ප්‍රවේශයකට අනුව සිදු කළ හැකි බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.
2026.07.02 දින ජාතික අධ්‍යාපන ආයතනයේ නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය (Curriculum Development Centre) සහ නව තත්ත්ව සහතික කිරීමේ ඒකකය ( Quality Assurance Unit) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පවසා සිටියේය.
මෙම නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ සිදුකරන කාර්යයන් හරහා වඩාත් නිරවද්‍ය හා විශ්වාසදායි අයුරින් පාසල් විෂයමාලා සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය. ඒ අනුව එම විෂයමාලා සංවර්ධන කටයුතු සම්මත මෙහෙයුම් පටිපාටියකට අනුව ශාස්ත්‍රීය, විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් මෙම මධ්‍යස්ථානය හරහා ඇගයීමට ලක් කෙරෙනු ඇත.
එම කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා සමස්ත ජාතික අධ්‍යාපන ආයතනයේම කටයුතු ඇගයීමට ලක් කෙරෙන පරිදි සැකසු නව තත්ත්ව සහතික කිරීමේ ඒකකයක්ද මීට සමගාමීව විවෘත කෙරිණි.
ජාතික අධ්‍යාපන ආයතනයේ නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර, අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සමඟ එම මධ්‍යස්ථානයේ සැලසුම් කර ඇති ඉදිරි වැඩකටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීම ද සිදුකළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙසේ ද කියා සිටියේ ය.
පූර්ව ළමාවිය, සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය සහ උසස් අධ්‍යාපනය යන සියලුම අධ්‍යාපන ක්ෂේත්‍රවල අප මේ වනවිට මූලික ප්‍රතිපත්ති සැකසීමේ අවසන් අදියරේ සිටිනවා. තවද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අප අපේක්ෂා කරන මට්ටමට රැගෙන ඒමට අවශ්‍ය මානව ප්‍රාග්ධනයේ ප්‍රමාණය නිශ්චිත සංඛ්‍යා දත්ත මත පදනම්ව මේ දිනවල අප සකස් කරමින් සිටිනවා.
රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ සමස්ත දැක්ම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යයන් එකට පෙළගැස්වෙන ආකාරයට සැලසුම් සකස් කළ යුතුයි. එසේම සාමාන්‍ය අධ්‍යාපනයේ විශාල කොටසක් ආවරණය කරන තැනක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ දායකත්වය අපට සුවිශේෂයි.
මෙවැනි ආයතනයක පරිපාලන ව්‍යුහය තුළ තොරතුරු සන්නිවේදනය වන ආකාරය සහ අධ්‍යයන කටයුතුවල වගකීම සම්බන්ධව දැඩි ලෙස අවධානය යොමුකළ යුතුයි. එමෙන්ම එම කාර්යයන් නිශ්චිත ක්‍රියා පටිපාටියකට අනුව නිසි තත්ත්ව සහතික කිරීමේ ක්‍රමවේදයක් ඔස්සේ සිදුකිරීම වැදගත් වෙනවා. අද මේ ගත් මූලික ප්‍රවේශය ජාතික අධ්‍යාපන ආයතනයේ අනාගතය තීරණය කරන මූලික සන්ධිස්ථානයක්.
මෙම ආයතනයේ සිටින අධ්‍යයන, අනධ්‍යයන නිලධාරීන් ඇතුළු සියලුම සේවකයින් රටේ යම්කිසි ජාතික ක්‍රියාවලියකට දායක වෙනවා. එම ජාතික කාර්යභාරයට දායකවීම ඔස්සේ ලැබෙන සතුට ඔබගේ වෘත්තීය ජීවිතයේදී ඉතා වටිනා සැමරුමක් වේවි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික අධ්‍යාපන ආයතනය ලෙස අප සැමවිටම උත්සාහ කරන්නේ අපේ රටට, දරුවන්ට හොදම දේ ලබාදීමට බවයි. එහිදී එම ක්‍රියාවලිය විනිවිදභාවයකින් හා ඉතා පරිස්සම් සහගත ලෙස සිදුකිරීමේ වගකීම මත පදනම්ව සිදුකරන බවත්, 2027 වසරේදී හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹීමට මොඩියුල සහ ගුරු අත්පොත් නියමිත වේලාවට ලබාදීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා හා තාක්ෂණ පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. රංජිත් පත්මසිරි මහතා, ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රියංගනී සේනානායක මහත්මිය ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
