ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ අංක 1 සන්නාමය මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, මෙරට එහි බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමඟ එක්ව යාපනයේ නවතම 3S මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. ඒ අනුව, වාහන අලෙවිය, සේවා සැපයීම සහ අමතර කොටස් යන සියලුම පහසුකම් එකම වහලක් යටින් ලබා ගත හැකි, උතුරු පළාතේ 3S පහසුකම් සහිත එකම නව බලශක්ති වාහන සන්නාමය බවට BYD පත් විය.

අංක 7, අරියාලෙයි නැගෙනහිර පාර, අරියාලෙයි, යාපනය යන ස්ථානයේ පිහිටි මෙම නවතම BYD ප්‍රදර්ශනාගාරය හරහා, උතුරු පළාතේ පාරිභෝගිකයින්ට සිය නිවෙස්වලට සමීපව පහසුවෙන් පූර්ණ BYD හිමිකාරිත්ව අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සැලසේ. ATTO 1, ATTO 2, DOLPHIN, SEALION 6, SEALION 5, SEALION 8, RACCO සහ SHARK 6 ඇතුළු BYD නව බලශක්ති වාහන මාදිලි සහිත ප්‍රදර්ශනාගාරයකින්, සියලු පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයකින් සහ නියම අමතර කොටස් සඳහාම වෙන් වූ අංශයකින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.

BYD යාපනය ප්‍රදර්ශනාගාරය ස්ථාපිත කර ඇත්තේ A9 Motors සමඟ ඇති කරගත් සහයෝගීතාවයෙනි. අධ්‍යක්ෂ කුවේට් දේවේන්ද්‍රන් මහතාගේ මෙහෙයවීම යටතේ A9 Motors සතු යාපනයේ මෝටර් රථ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ස්ථාවර පැවැත්ම උතුරු පළාත පුරා වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට සහ ඔවුන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට BYD වෙත විශාල ශක්තියක් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් A9 Motors අධ්‍යක්ෂ කුවේට් දේවේන්ද්‍රන් මහතා පැවසුවේ “යාපනයේ පාරිභෝගිකයින් අතර නව බලශක්ති වාහන කෙරෙහි ඇති උනන්දුව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඔවුන් අපේක්ෂා කරන්නේ තමන්ගේම නගරය තුළ වාහන අලෙවිය, සේවා පහසුකම් සහ නියම අමතර කොටස් ලබා දෙන විශ්වාසවන්ත සන්නාමයක්- යාපනයේ ස්ථාපිත වෙළඳ නියෝජිතයෙකු ලෙස අප එම කාර්යභාරය ඉතා වගකීමෙන් භාර ගන්නවා. උතුරේ සෑම පවුලකටම සහ ව්‍යාපාරයකටම BYD වාහනයක හිමිකාරිත්වය ඉතා පහසු අත්දැකීමක් බවට පත් කිරීමත්, ඉදිරි වසර ගණනාවක් පුරා ඔවුන්ට විශ්වාසය තැබිය හැකි සහකරුවෙකු ලෙස කටයුතු කිරීමත් අපගේ අරමුණයි.” යනුවෙනි.

මෙම විවෘත කිරීම, BYD සන්නාමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ JKCG Auto හි ව්‍යාපාරික ගමන් මඟෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින පාරිභෝගිකයින්ට හිමිවන උසස් තත්ත්වයෙන් සහ සැලකිල්ලෙන් යුතුව, උතුරු පළාතේ පාරිභෝගිකයින්ට ද තම වාහන මිලදී ගැනීමට, සේවා පහසුකම් ලබා ගැනීමට සහ අලුත්වැඩියා/නඩත්තු කටයුතු සිදු කර ගැනීමට මෙයින් හැකියාව ලැබේ.

BYD ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් විසින්, නව බලශක්ති වාහන තාක්ෂණයට විශේෂිත වූ වාහන දෝෂ විනිශ්චය උපකරණ භාවිතා කරමින් මෙහි සේවා කටයුතු සිදු කරනු ලැබේ. නව බලශක්ති ප්‍රවාහන ක්‍රමවේදයන් වෙත යොමු වීමේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නියම අමතර කොටස්, විනිවිදභාවයෙන් යුත් සේවාවන් සහ කඩිනම් අලෙවියෙන් පසු සේවාවක් පාරිභෝගිකයින්ට මෙහිදී අපේක්ෂා කළ හැකිය.

මෙම නවතම 3S මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ “මෙය BYD සහ JKCG Auto යන ආයතන දෙකටම ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. යාපනය ඇතුළු සමස්ත උතුරු ප්‍රදේශයේ ජනතාව ඉහළ බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ජනතාවක්. තමන්ගේම ප්‍රදේශය තුළ ස්ථාපිත විශ්වාසවන්ත සන්නාමයක සේවාව ලබා ගැනීමට මෙය ඔවුන්ට කදිම අවස්ථාවක්. අපගේ මෙම 3S මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට BYD වාහන අත්දැකීමක් ලබා ගැනීමට, මිලදී ගැනීමට සහ නඩත්තු කටයුතු කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සැලසෙන අතර, එය යාපනයේ ජනතාව සමඟ ගොඩනගා ගන්නා ස්ථිර සබඳතාවයක පළමු පියවරයි. උතුරේ තවත් පවුල් බොහෝමයක් සහ ව්‍යාපාර නව බලශක්ති ප්‍රවාහන ක්‍රමවේදයන් වෙත යොමු වන විට, එම ගමනේ සෑම පියවරකදීම ඔවුන්ට සහාය වීමට අප නිරන්තරයෙන්ම සූදානමින් සිටිනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමය ලබා ඇති ශක්තිමත් ඉදිරි ගමන තවදුරටත් තහවුරු කරමින් මෙම නවතම 3S පහසුකම විවෘත කිරීම සිදු වූ අතර, JKCG Auto සහ එහි අලෙවි නියෝජිත හවුල්කරුවන් සමඟ එක්ව සිය වාහන මාදිලි, charge කිරීමේ පහසුකම් ජාලය සහ අලෙවියෙන් පසු සේවා හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට BYD අඛණ්ඩව කටයුතු කරයි.