අධ්‍යාපන පරිවර්තනයේ එක් අපේක්ෂාවක් වන්නේ අනාගත ලෝකයට ගැළපෙන ගුරුභවතුන් බිහි කිරීමයි.
— අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය —

අනාගත ලෝකයට ගැළපෙන ඩිජිටල් තාක්ෂණික කුසලතාවලින් හෙබි ගුරුභවතුන් බිහි කිරීම අධ්‍යාපන පරිවර්තනයේ එක් අපේක්ෂාවක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

2026 ඔක්තෝබර් 27 වැනි දින මහරගම සහ රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ස්ථාපිත කළ දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත ආදර්ශ සුහුරු පන්ති කාමර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතාගේ සහභාගීත්වයෙන් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ස්ථාපිත සුහුරු පන්ති කාමරය සහ දුරස්ථ ඉගෙනුම් පහසුකම් ගුරු ශික්ෂණලාභීන්ගේ භාවිතය සඳහා විවෘත කෙරිණි. ඊට සමගාමීව රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ස්ථාපිත සුහුරු පන්ති කාමරය ද විවෘත කරන ලදී. මෙම පහසුකම් චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතිය තුළ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 සඳහාම මෙවැනි සුහුරු පන්ති කාමර සහ දුරස්ථ ඉගෙනුම් පහසුකම් ලබාදීමට රජය අපේක්ෂා කරයි. නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් ගුරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ගුරු හිඟය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අභියෝග සඳහා ඵලදායී විසඳුම් සෙවීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු වේ.

මෙහිදී මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් සකස් කරන ලද ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (Learning Management System – LMS) ද අග්‍රාමාත්‍යවරිය අතින් එළිදක්වන ලදී. එමෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කිහිපයක් සම්බන්ධ කරගනිමින් නව දුරස්ථ ඉගෙනුම් පහසුකම් ඔස්සේ ආදර්ශ ඉගෙනුම් හා ඉගැන්වීම් වැඩසටහනක් ද පැවැත්විණි.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ චීන රජයේ සහ Huawei ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මඟින් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් තාක්ෂණය ඵලදායීව යොදාගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ගුරුවරුන්ට ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, ආත්මවිශ්වාසයෙන් හා නිපුණතාවලින් පිරිපුන් ගුරුවරුන් බිහිකිරීම තුළින් දක්ෂ හා නිර්මාණශීලී සිසු පරපුරක් ගොඩනඟා රටේ අනාගතය පරිවර්තනය කළ හැකි බව ද ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා, ඩිජිටල් කාර්ය සාධක බලකායේ අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රොෆ් මහතා, Huawei Technologies Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු එම ආයතනයේ නියෝජිතයන්, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් ඉරෝෂිණි කේ. පරණගම මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.