ටෝකියෝ සිමෙන්ති පරිසර හා සමාජ සත්කාර සේවා තානාපතිනිය ලෙස මිස් ශ්‍රී ලංකා 2021 රූ රැජින ෂාඩේ ග්‍රීන්වුඩ් පත් කරයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය
ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස්
ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය
කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම්
මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා
අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගන්නා ලදී. මෙම සහයෝගීතාවය තුලින්,
ෂාඩේ විසින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරන බහුවිධ
පාරිසරික සංරක්ෂණ සහ සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳ මහජනතාව
දැනුවත් කිරීමට සහ, විශේෂයෙන්ම තරුණ පරම්පරාව එම ව්‍යායාමයේ
උද්‍යෝගිමත් කොටස්කරුවන් බවට පෙළගස්වා ගැනීමට සිය දායකත්වය සපයනු
ඇත.
මිස් ශ්‍රී ලංකා 2021 රූ රැජින ලෙස තේරී පත් වූ ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පසුගිය
දෙසැම්බරයේ පෝ(ර්)ටො රිකෝ හි පැවති ලෝක රූ රැජින තරඟාවලියේදී ශ්‍රී
ලංකාව නියෝජනය කළාය. අවසන් තරඟකාරී සුරූපිනියන් 40 දෙනා අතරට
ඒමේ වාසනාව හිමිකරගත් ෂාඩේ, විනිසුරු මඬුල්ල තෝරාගත් 2021 ලෝක රූ
රැජින කිරුළ හිමිවීමට සුදුසුම රූ රැජිනියන් 25 දෙනා අතරට ද තේරීපත්ව සිටින
අතර, එය වසර හතළිහක් තුළ ශ්‍රී ලාංකික තරඟකාරියක් විසින් දිනාගත්
ඉහළම ශ්‍රේණිගත කිරීම වේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්
කල්දමන්නට සිදුවූ 2021 ලෝක රූ රැජින කිරුළු පැළඳීමේ උත්කර්ශවත් අවසන්
මහා තරඟය මේ වසරේ මාර්තු මාසයේදී පෝ(ර්)ටො රිකෝහිදී නැවත
පැවැත්වීමට නියමිතය.
ලෝකය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට කුඩාකල පටන් ඇය තුළ ඇති
ආශාව නිසාම, සත්ත්ව අයිතීන් සුරැකීම වෙනුවෙන් විශාල කැපවීමක් දක්වන
ෂාඩේ, සමුද්‍ර සංරක්ෂණය ඇතුළු ඇගේ හදවතට ඉතා සමීප පරිසර සත්කාරක
වැඩසටහන් කිහිපයකට දැනටමත් සම්බන්ධ වී සිටී. මෙම ව්‍යාපෘතීන් සඳහා
ඇයගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබාදීමෙන්, අපගේ පරිසරයට සහ ප්‍රජාවන්ට
සාධනීය බලපෑමක් සිදුකරනු ලබන එම වැඩසටහන් පිළිබඳව පුළුල්
දැනුවත්භාවයක් ඇතිකර ඒ කෙරෙහි විශාල පිරිසකගේ දායකත්වය ලබා

ගැනීමටත්, එම වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් එක්වන තරුණ පිරිස
වැඩිකරවීමටත් ෂාඩේ සමත් ව සිටින්නීය.
අප රටේත් ජනතාවගේත් සුභසිද්ධිය පාදක කරගත් පරිසර සං‍රක්ෂණ සහ
සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට ටෝකියෝ සිමෙන්ති සමාගම සිය
දූරදර්ශී දායකත්වය සපයයි. තම සමාජ වගකීම උදෙසා ඇති කැපවීම මෙම
වැඩසටහන් තුළින් ජීවමාන වන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ
ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ ටෝකියෝ සිමෙන්ති සමාගම්මේ දැක්ම සාක්ෂාත්
කරවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රධාන අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *