Al-Futtaim සමාගම අනාගත වර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරයි

තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක්

ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ
විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින
සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම්
කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත
මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික
තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ
පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග
වලට දක්වන සෘජු ප්‍රතිචාරයකි.
ඉදිරි සති කිහිපය තුළ සමාගම, වසා දමනු ලබන මධ්‍යස්ථාන මොනවාද යන්න
තීරණය කරනු ඇති අතර, ඉන් අනතුරුව එළඹෙන මාස කිහිපය තුළ
ක්‍රමානුකූලව එම මධ්‍යස්ථාන වසා දැමීම සිදුවනු ඇත. කෙසේ නමුත් රට පුරා
තම අයිතිය යටතේ පවතින මධ්‍යස්ථාන සහ ව්‍යාපාරයන් මෙන්ම, Nissan, Suzuki,
Yamaha, Renault සහ New Holland යන සන්නාම සමග පවත්වාගෙන යන
හවුල්කාරීත්වයන් අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගම බලාපොරොත්තු වෙයි.
AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සී මහතා මේ සම්බන්ධයෙන්
මෙසේ අදහස් පළකළේ ය. “පවුල් ව්‍යාපාරයක් වශයෙන්, අපගේ වටිනාම වත්කම
ලෙස අප සලකන්නේ අපගේ සේවක සේවිකාවන් පිරිසයි. දීර්ඝකාලීනව ඔවුන්ගේ
සහ අපගේ හවුල්කාරීත්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවර ගැනීම අපගේ
වගකීමක්. මෙවැනි තීරණ ගැනීම පහසු දෙයක් නොවූවත්, ව්‍යාපාරයේ
දීර්ඝකාලීන පැවැත්මට එය අත්‍යවශ්‍යයි. මේ ආකාරයට ව්‍යාපාර කටයුතු සීමා
කරමින්, අපගේ සමාගමේ වඩාත් ශක්තිමත් අංශ කෙරෙහි වැඩි අවධානයක්
යොමුකිරීම, අප ගන්නා ක්‍රමෝපායික තීරණයක්. අපගේ මූලධර්මයන් අනුව
ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, දිගින් දිගටම ඉහළම මට්ටමේ
පාරිභෝගික සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා. එමෙන්ම, AMW සමූහයේ
සියලුම සේවක සේවිකාවන් මෙතෙක් ලබාදුන් සේවාවට අපගේ කෘතඥතාව හිමි
විය යුතුයි. මේ අභියෝගකාරී කාලසීමාව තුළදී සිදුවන වෙනස්කම් අනුව
හැඩගැසීමට ඔවුන් සූදානමින් සිටීම අප බෙහෙවින් අගය කරනවා.”

සමාගමේ සිදුවන ප්‍රමාණාත්මක වෙනස්කම් පිළිබඳව කළමනාකාරීත්වය විසින්
සේවක සේවිකාවන් දැනුවත් කර ඇති අතර, මෙම කාලසීමාව තුළ කාර්ය
මණ්ඩලයට හැකි උපරිමයෙන් සහය ලබාදීමට සමාගම කැප වී සිටී. සමාගම
වෙනුවෙන් මෙතෙක් ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, නව රැකියා
අවස්ථාවන් වෙත යොමුවීමට ඔවුන්ට අත්වැලක් වීමට මෙන්ම ඔවුන්ගේ
යහපැවැත්ම සහතික කිරීමටත්, අවශ්‍ය මූල්‍යමය සහයෝගයන් ලබාදීමට සමාගම
හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇත.

AMW පිළිබඳව
1949 වසරේදී ශ්‍රී ලංකාවේ ටයර් නැවත පිරවීමේ කර්මාන්තයේ පුරෝගාමියා ලෙස
ආරම්භ වූ ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්.) සමාගම [Associated Motorways
(Private) Limited-AMW], යනු වසර 65 කට අධික ඉතිහාසයක් සහිත, රටේ
බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වූ සමාගමකි. නිෂ්පාදන හා සේවා
සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතරම AMW ලොව සුප්‍රසිද්ධ මෝටර්
රථ සන්නාම මෙන්ම ඒ ආශ්‍රිත නිෂ්පාදන හා සේවා සන්නාම සිය
පාරිභෝගිකයන්ට සමීප කරවයි. AMW හි ප්‍රධාන ව්‍යාපාරික අංශ වන්නේ ටයර්
නැවත පිරවීම, වාහන අලෙවිය හා අලෙවියෙන් පසු සේවාවන්, ලිහිසි තෙල්,
බැටරි සහ ටයර් සහ මූල්‍ය සේවා (ලීසිං සහ හයර් ප්‍රචස්) වන අතර, ඒවා පහත
සඳහන් සමාගම් හරහා සිදු කරනු ලැබේ:

Associated Motorways (Private) Ltd.
නිෂ්පාදන අංශය – ටයර් නැවත පිරවීම, යතුරුපැදි ටයර් නිෂ්පාදනය, ත්‍රිරෝද රථ ටයර්
නිෂ්පාදනය, ඝන ටයර් නිෂ්පාදනය, විශේෂ සංයෝග සහ අනෙකුත් රබර් නිෂ්පාදන
රථවාහන අංශය – රථවාහන අලෙවිය සහ, ටයර්, බැටරි, ලිහිසි තෙල් සහ රථවාහන
නඩත්තුවට අදාළ අනෙකුත් නිෂ්පාදන
රථවාහන සම්බන්ධ නිෂ්පාදන එකතුව

  • යතුරුපැදි, යාත්‍රා සහ බලශක්ති නිෂ්පාදන
  • මගී කාර් සහ වෑන් රථ
  • ට්‍රක් සහ බස් රථ

Associated Autoways Ltd. – ටයර් නැවත පිරවීම
Associated Property Development (Private) Ltd. – දේපළ සංවර්ධනය .

AMW Capital Leasing & Finance PLC – ලීසිං, හයර් පර්චස් සහ තැන්පතු භාරගැනීම
Associated Motor (Lanka) Co.Ltd. – පාවිච්චි කළ වාහන අලෙවිය සහ අලෙවියෙන් පසු
සේවාව
2008 ජූලි මාසයේදී ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්.) සමාගම, Al-Futtaim සමූහ
ව්‍යාපාරයේ පූර්ණ අයිතිය යටතේ පවතින Al-Futtaim Engineering (AFE) සමාගමේ
කළමනාකාරීත්වය යටතට පත් වූ අතර, ඒ අනුව එය Al-Futtaim සමූහ ව්‍යාපාරයේ
රථවාහන අංශයේ සංවර්ධන ක්‍රමෝපායට සහ ගෝලීය ක්‍රමෝපායට සමපාත කරන ලදි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන Al-
Futtaim සමූහය, මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, රක්ෂණ, සේවා, දේපළ වෙළඳාම්,
පාරිභෝගික වෙළඳාම් සහ විදේශ ව්‍යාපාර වල නියුතු, විවිධාංගීකරණය වූ ඒකාබද්ධ
වාණිජ, කාර්මික සහ සේවා සමූහයකි.
Al-Futtaim Automotive පිළිබඳව
Al-Futtaim Automotive යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් Al-Futtaim සමූහ
ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් අංශ පහෙන් එකක් වන අතර, එය ලොව වඩාත්ම පිළිගත්
මෝටර් රථ සන්නාම සහ සේවාවන් එකතුවක් සඳහා බලය හිමි මෝටර් රථ ආශ්‍රිත
ව්‍යාපාර සමූහයකි.
මැදපෙරදිග, ආසියාව සහ අප්‍රිකාව යන කලාප වල රටවල් 10ක ක්‍රියාත්මක Al-Futtaim
Automotive හවුල්කාරීත්වයන් 9,000කින් පමණ සවිබල ගැන්වේ. එහි මූලස්ථානය එක්සත්
අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇති අතර, එම සමූහය නව සහ පාවිච්චි කරන ලද වාහන
බෙදා හැරීම, නිෂ්පාදනය, ලීසිං සහ අලෙවියෙන් පසු සේවාවන් වැනි නිෂ්පාදන හා
සේවාවන් පිරිනමයි.
මගී මෝටර් රථවල සිට SUV රථ, වාණිජ වාහන, කාර්මික සහ ඉදිකිරීම් උපකරණ
මෙන්ම යතුරුපැදි සහ ක්වොඩ් රථ දක්වා ආවරණය කරන Al-Futtaim Automotive සමූහය,
මෝටර් රථ රියදුරන්, රථ වාහන මෙහෙයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු
කාණ්ඩ රැසකට නිෂ්පාදන හා සේවාවන් සපයයි. ප්‍රවාහන හා ගමනාගමන විසඳුම්
සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වීම එහි අරමුණ වී තිබේ.

Al-Futtaim සමූහ ව්‍යාපාරය පිළිබඳව
වෙළඳ ව්‍යාපාරයක් ලෙස 1930 දශකයේදී ආරම්භ වූ Al-Futtaim සමූහය මේ වනවිට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වඩාත්ම විවිධාංගීකරණය වූ, ඉදිරිගාමී පෞද්ගලික
සමාගම් අතරින් එකක් බවට පත්වී ඇත. එහි කලාපීය ව්‍යාපාර කටයුතු වල ප්‍රධාන
කාර්යාලය ඩුබායි නගරයේ පිහිටා තිබේ.

රථවාහන, මූල්‍ය සේවා, දේපළ, පාරිභෝගික වෙළඳාම් හා සෞඛ්‍ය යන මූලික අංශ 5 කට
ව්‍යුහගත කර ඇති Al-Futtaim සමූහ ව්‍යාපාරය, මැදපෙරදිග, ආසියාව සහ අප්‍රිකාව යන
කලාප වල රටවල් 20 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවය කරන සංඛ්‍යාව
33,000 කට අධික ය. එමෙන්ම එය ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම 200 කට අධික
සංඛ්‍යාවක් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන තිබේ.
ව්‍යවසායකත්වය සහ පාරිභෝගික යහපත කෙරෙහි දක්වන අඛණ්ඩ උනන්දුව
හේතුවෙන් Al-Futtaim සමූහ ව්‍යාපාරයට අඛණ්ඩව දියුණුව කරා යාමට හැකියාව ලැබී
ඇත. මෙම ඉදිරි ගමන තුළදී පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සහ
සමාජයන්හි සිදු වන වෙනස්කම් පිළිබඳව සමූහයේ නිරන්තර අවධානය යොමු වේ.
ගෞරවය, විශිෂ්ටත්වය, සහයෝගීතාව සහ අඛණ්ඩතාව යන වටිනාකම් ආරක්ෂා
කරමින්, සෑම දිනකම ගනුදෙනුකරුවන්ගේ ජීවිත සහ අභිලාෂයන් පොහොසත් කිරීමට
Al-Futtaim සමූහය කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු සඳහා www.alfuttaim.com  වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *