දීර්ඝකාලීන ප්‍රතිපත්ති නොමැති වීම සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණ අතරමග නවතී

මෑතකදී ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලනික වෙනස්කම් සහ, විවිධ අමාත්‍යවරුන්ගේ විවිධාකාර වූ න්‍යායපත්‍රයන් හේතුවෙන් පැනනැගුණු නීතිමය බාධාවන් මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් කර්මාන්තයට සෘජුවම බලපා තිබේ. මෙම නීතිමය බාධාවන් හුදෙක් වර්තමානයේ පැනනැගුණු ඒවා නොව, අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ තීරණාත්මක බලශක්ති ව්‍යාපෘතිවලට බලපෑම් එල්ල කළ දේශපාලන අස්ථාවරත්වයෙහිම කොටසක් ලෙස අප වටහාගත යුතු ය. 2003 වසරේදී ඛනිජ තෙල් පනත හඳුන්වා දීමෙන් පසුව පවා මෙතෙක් ගවේෂණය කර ඇත්තේ, තෙල් සහ ගෑස් නිධි ඇතැයි සැලකෙන ස්ථානවලින් එක් ස්ථානයක් පමණි. මෙම තත්ත්වය, රටේ සමස්ත ආර්ථිකයේ ගමන්මග වෙනස් කළ හැකි තීරණාත්මක පියවර රැසක් අකර්මණ්‍ය කර ඇති අතර, එමගින් සියලුම මට්ටම්වල පාර්ශ්වකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ. මෙම ව්‍යාපෘතිවල නීතිමය තත්ත්වයන් විනිවිදභාවයෙන් යුතුව විශ්ලේෂණය කළ යුතු නමුත්, පසුගිය වසර 20 ක කාලය තුළ මෙම ක්ෂේත්‍රය කිසිදු ආකාරයක ප්‍රගතියක් අත්කරගෙන නොතිබීමට බලපෑ එකම සාධකය එය නොවන බව අප මතක තබාගත යුතු ය.

අභියාචනාධිකරණය තුළ සිදුවෙමින් පවතින නීතිමය කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ කොටස් දෙකක වර්ග කිලෝමීටර් 5,000 කට අධික ප්‍රමාණයක තෙල් සහ ගෑස් ගවේෂණ සහ වාණිජකරණ කටයුතු සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය නැවත වරක්  ඇනහිට තිබේ.

අංක 392/2023 දරන රීට් පෙත්සම සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය තුළදී ගරු අධිකරණයේ තීරණය වී ඇත්තේ, පෙත්සම්කාර සෙරන්ඩිව් එනර්ජි (Serendive Energy) සමාගම බැලු බැල්මට පිළිගත හැකි කරුණු (Prima facie case) ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ගරු අධිකරණය විසින්, නඩුවෙහි අවසන් තීන්දුව ලබාදෙන තුරු, එහි 1 වැනි සහ 36 වැනි විත්තිකරුවන් සහ/හෝ ඔවුන්ගේ සේවකයන් හෝ නියෝජිතයන් විසින් පෙත්සම්කාර පාර්ශ්වය හැර වෙනත් තුන්වැනි පාර්ශ්වයකට අදාළ M1 සහ C1 යන ස්ථානවල අක්වෙරළ ගවේෂණ සිදුකිරීම සඳහා අවසර ලබාදීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන ලදි.

දැවැන්ත ඉන්දියානු සමාගමක් සමග ඇතිකරගත් ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සහිත සෙරන්ඩිව් එනර්ජි සමාගම වෙත අදාළ ගවේෂණ කටයුතු සඳහා ලබා දී තිබූ අවසරය ඉවත් කර ගැනීමට මෑතකදී දරන ලද උත්සාහයකින් අනතුරුව එම සමාගම විසින් මෙම නීතිමය ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. එහි ආයෝජකයා මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් මූල්‍ය පහසුකම් ලබාදුන් අතර, මේ වනවිට විශාලතම රාජ්‍ය ව්‍යවසායන් අතරින් එකක් පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ කෙටිලැයිස්තුගත කිරීමේ අදියරට පැමිණ සිටී.

මේ සම්බන්ධයෙන් 2019 වසරේදී සිදුකරන ජාත්‍යන්තර විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියට (SL 2019-02) සෙරන්ඩිව් එනර්ජි සමාගමද ලංසු ඉදිරිපත් කළ අතර, ඒ අනුව 2021 මැයි මාසයේදී එම සමාගම වෙත Mannar Basin M1 සහ Cauvery Basin C1 යන කොටස්වල ගවේෂණ අයිතිය ලබාදෙන ලදි. එම තීරණය ගන්නා ලද්දේ, ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් සම්බන්ධ ප්‍රමුඛතම විද්වතුන් දෙදෙනෙකු වන හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය සහ වර්තමාන සභාපති සුරත් ඕවිටිගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන ලද ඇගයීම්වලින් අනතුරුව ය.

2021 වසරේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ මෙසේ දැක්වේ. මන්නාරම් ද්‍රෝණියේ M1 සහ කාවෙරි ද්‍රෝණියේ C1 යන ස්ථානවල තෙල් සහ ගෑස් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා 2019 වසරේදී ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවන ලද අතර, ලංසු ඇගයීමේ ක්‍රියාවලිය 2021 වසරේ මැයි මාසයේදී අවසන් විය.

“M1 සහ C1 කොටස් වෙනුවෙන් වෙන වෙනම ඛනිජ තෙල් සම්පත් ගිවිසුම්වලට එළඹීම සඳහා 2021 වසර පුරාම ශ්‍රී ලංකා රජය විසින් සෙරන්ඩිව් එනර්ජි (පුද්.) සමාගම සමග සාකච්ඡා කරන ලද අතර, එම සාකච්ඡා 90% ක් පමණම අවසන් වී ඇත. 2022 වසරේ පළමු අර්ධයේදී අවසන් ඛනිජ තෙල් සම්පත් ගිවිසුම්වලට එළඹීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

මීට පෙර ගන්නා ලද අසාර්ථක ආරම්භයන් රැසකින් අනතුරුව මේ ආකාරයට ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා සෙරන්ඩිව් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීම වැදගත් ඉදිරි පියවරක් ලෙස ඇගයීමට ලක් වූ නමුත්, රටේ ආර්ථික අර්බුදය, ‘අරගලය’ සහ අමාත්‍යංශයේ තනතුරුවල සිදු වූ වෙනස්කම් හේතුවෙන් ඒ වනවිටත් 90% මට්ටමක පැවති එම එකඟතාවන් සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර, ඉන් අනතුරුව එම අවසරය වෙනස් කිරීම සඳහා උත්සාහයන් දරන ලදි. එවැනි උත්සාහයන් සෘජුවම 2003 ඛනිජ තෙල් පනතට පටහැණි බව දක්වමින් සෙරන්ඩිව් එනර්ජි සමාගම අදාළ පෙත්සම ඉදිරිපත් කළේ ය.

ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ උත්සාහය 1984 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමගම අත්හැර දමන ලදි. කෙසේ නමුත් 2003 වසරේදී අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත බලාත්මක කරනු ලැබීමෙන් අනතුරුව අදාළ ගවේෂණ කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර ගවේෂණයන් සොයාගැනීමේ ප්‍රයත්නයන් නැවත ආරම්භ විය.

ආසියානු සංවර්ධන අරමුදලේ මූල්‍ය සහය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඛනිජ තෙල් ඉංජිනේරු අංශයේ කොටසක් වන ‘නිව් සවුත් ග්ලෝබල්’ හි තාක්ෂණික සහය සමගින් 2001 වසරේදී ශ්‍රී ලංකාවේ හයිඩ්‍රොකාබන් ගවේෂණය මෙහෙයුම් සඳහා වූ කාර්යභාරය සහ නීතිරීති සම්පාදනය ශක්තිමත් කරන ලදි.

මෙම ව්‍යාපෘතියේ කණ්ඩායම් නායකයා වූ මහාචාර්ය රේ ෂෝ සිය වාර්තාව අවසන් කරනුයේ මෙසේ ය. “මන්නාරම් බොක්ක ද්‍රෝණිය යනු සැලකිය යුතු හයිඩ්‍රොකාබන් සංචිතයක් ඇති බව හැඟවෙන ලකුණු සහිත නව ගැඹුරු ජල මායිම් කලාපයකි.”

2001 වසරේ TGS Norpec Seismic සමීක්ෂණය පදනම් කරගත් මෙම වාර්තාව මගින්, TGS විසින් වඩාත් පුළුල් සමීක්ෂණයක් සහ ගුරුත්වාකර්ෂණ/චුම්බක අධ්‍යයනයක් සිදුකළ යුතු යැයි යෝජනා කරන ලද අතර, එමගින් මෙම ආසියානු සංවර්ධන බැංකු/නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ සොයාගැනීම් තවදුරටත් තහවුරු විය.

එවකට අග්‍රාමාත්‍යවරයා වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ 2003 ඛනිජ තෙල් සම්පත් පනත සම්මත කරගන්නා ලදි. කෙසේ නමුත් පසුකාලීනව සිදු වූ වැරදි කළමනාකරණය සහ නිලධාරීවාදී අකර්මණ්‍යතාවන් හේතුවෙන් ඉන් අර්ථවත් ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි විය.

සාමාන්‍යයෙන් ඛනිජ තෙල් ගවේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වසර 10 කට ආසන්න කාලයක් ගත වේ. ලෝකය 2045-2050 කාලසීමාව වන විට “Net Zero” ඉලක්කය වෙත ළඟා විය යුතු බැවින් රටේ මෙම ස්වාභාවික සම්පතෙන් නිසි ප්‍රයෝජන ගැනීමට පවතින ඉඩකඩ වේගයෙන් ක්ෂය වෙමින් පවතී. රජය විසින් ලබා දී ඇති නිෂ්පාදන කාලසීමාව වසර 20 ක් වන අතර, ලෝකයේ තෙල් ඉල්ලුම සැලකිය යුතු මට්ටමකට පහළ යාමට පෙර ඉන් ප්‍රයෝජන ලැබීම සඳහා ආයෝජකයන්ට වසර 20 ක කාලයක් ඉතිරි නොවනු ඇත. එම නිසා ඔවුන්ට මෙම ආයෝජනය ආකර්ෂණීය නොවීමට ඉඩ තිබේ.

මෙම ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ සම්භාවිතාව 7 – 10% ක් වැනි අඩු අගයක් ගනී. එමෙන්ම මෙවැනි කර්මාන්ත ජනසතු කිරීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුර සිදු වී ඇති බැවින් ආයෝජකයන් තවදුරටත් දුර්මුඛ වීමට ඉඩ ඇත. 2001 සහ 2005 වසරවල TGS Norpec Seismic සමීක්ෂණය සම්බන්ධ සිදුවීම් සහ 60 දශකයේ Caltex, Shell සහ Esso සම්බන්ධ සිදුවීම්, අත්තනෝමතික, බොහෝ දුරට ක්ෂණික ප්‍රතිපත්තිමය සංශෝධනයන් ඔස්සේ සිදුකරන ලද ජනසතු කිරීම් සහ පවරාගැනීම්වලට උදාහරණ ලෙස දැක්විය හැක.

ඉදිරි මාස 12 ක කාලය තුළ පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක හේතුවෙන් පැනනැගී ඇති අවිනිශ්චිතතාවන්, මෙම නීතිමය කටයුතු හේතුවෙන් රටේ ගවේෂණ ක්‍රියාවලිය ඇනහිට තිබීම සහ, මහ මැතිවරණයෙන් අනතුරුව අභිලාශය ප්‍රකාශ කිරීම්/ටෙන්ඩර් කැඳවීම්, කෙටිලැයිස්තුගත කිරීම, සාකච්ඡා කිරීම, තෝරාගැනීම සහ විවිධාකාර වූ පරිපාලනමය ක්‍රියාවලි අවසන් කිරීම සඳහා ගතවිය හැකි කාලය සලකා බලන විට, අනෙකුත් ප්‍රදේශ සඳහා නව ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් අලුතින් ගවේෂණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවම වශයෙන් වසර 2 ක කාලයක් ගතවනු ඇත.

එමෙන්ම 2013 වසරේදී කලාපයේ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින තෙල් සමාගමක් (A regional National Oil Company) තමන් කැණීම් කිරීමට නියමිත ප්‍රදේශ කිහිපයක් වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කරන බව පවසා, සෙසු ආයෝජකයන් දුර්මුඛ කිරීමෙන් අනතුරුව, අවසාන මොහොතේදී ලංසු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම නිසා ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැත. එහිදී ස්වාධීන තක්සේරු සහ භූ භෞතික සමීක්ෂණවල සොයාගැනීම්වලට පටහැනිව ඔවුන් කියා සිටියේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් සොයාගැනීමට ඵලදායී ඉඩක් නොමැති බවයි. මෙය ඛනිජ තෙල් කර්මාන්තයේ කටයුතු කඩාකප්පල් කරමින් ශ්‍රී ලංකාව ස්වාධීන හා ධනවත් රටක් බවට පත්වීමේ ඉඩකඩ අවහිර කිරීමේ උත්සාහයක් ලෙසද කෙනෙකුට පෙනී යා හැක.

ඉහත සඳහන් සාධක හේතුවෙන් පසුගිය වසර 10 ක කාලය තුළ මේ සම්බන්ධයෙන් ආයෝජකයන් වෙතින් කිසිදු යහපත් උනන්දුවක් පළ නොවූ අතර, ඒ හේතුවෙන් මෙම කටයුතු සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇත. පසුගියදා නිකුත් කරන ලද වාරණ නියෝගය මෙම ප්‍රයත්නයේ අවසානය සනිටුහන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට කිසි දිනක මෙම වටිනා ඛනිජ සම්පතෙන් නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකි වීමට ඉඩ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *