වෙසක් පණිවුඩය

බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සමරණ වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනයාගේ පරම පූජනීය දිනයයි. අනාදිමත් කාලයක සිට ලක්වැසියා එය බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මහත් හරසරින් සමරයි.
ස්වභාවික ව්‍යසන හා ආර්ථික අර්බුදයන් හමුවේ අඩපණව තිබී, වසර ගණනාවකට පසුව පූර්ණ වෙසක් උත්සවයක් සැමරීමේ අවස්ථාව මෙවර ලාංකික අපට උදා වී ඇත.
ලෝක ස්වභාවය දිනෙන් දින වෙනස් වේ. වර්තමානය වන විට, ලොව ජීවන රටාවේ අප සිතූ මාර්ග කඩා වැටෙමින් ඇත. මේ නිසා ලෝකවාසී ජනයා ජීවිත ස්වභාවය අවබෝධ කරවන බුදු දහමේ මග අනුගමනය කිරීම හරහා බුදු දහමේ හරය සොයා යමින් සිටී. බුදු දහමේ ඉගැන්වෙන මැදුම් පිළිවෙත එකී ධර්ම මාර්ගයයි.
සර්ව කාලීන දර්ශනයක් වන එකී මැදුම් පිළිවෙත වෙනදාටත් වඩා වත්මන් අධ්‍යයතන සමාජයට මඟ පෙන්වනු ඇත. අද ලොව කතා කරන ආර්ථික පිළිවෙතකට, ආර්ථික සංවර්ධනයකට මැදුම් පිළිවෙත අනුගමනය කිරීම වඩාත් අර්ථවත් වේ. මැදුම් පිළිවෙත සදා ශාන්තිය ගෙන දෙන පිළිවෙත් මඟකි.
වෙසක් සැරසිලි ජීවිතයේ අනිත්‍යතාවය පසක් කරන ගැඹුරු මානසික අභ්‍යාසයකි. ජීවිතය සමබර නොවීම විනාශයට මඟ පාදන බව දරුවන්ට අත්දැකීම් තුළින් අවබෝධ කර ගැනීමට එය මඟ පාදයි. එබැවින් අත්දැකීම් තුළින් ජිවිතය අවබෝධ කරවීමටත්, වෙසක් කලාව නොනැසී පවත්වා ගැනීමටත්, වෙසක් සැරසිලිවල යෙදීමට දරුවන් යොමු කරවීම වැඩිහිටි සැමගේ යුතුකමයි.

යළි යළිත් උතුම් බුද්ධ දර්ශනයේ මග පසක් කරමින් මේ වෙසගේ ආමිස, ප්‍රතිපත්ති පූජා කරමින් මෙත්තා, කරුණා මුදිතා උපේක්ෂා යන සිවු බඹ විහරණ පෙරදැරි කරගත් සමාජයක් තුළ කටයුතු කරමු.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *