කුමන ආණ්ඩුවක් බලයට පත්වුණත් අයවැය හදන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා සම්මත කළ මේ පනත් අනුවයි.


• උපයන විට ගෙවීමේ බද්ද ගැන රාජ්‍ය සේවකයන්ට, පුද්ගලික අංශයේ සේවකයින්ට, වෘත්තිකයන්ට සහනයක් දෙන්න අද කැබිනට් එක යෝජනා කළා..
• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිණුමෙන් වාරික තුනයි ලැබුණේ. හතරවෙනි වාරිකය සඳහා ඔක්තෝබර් මාසයේ නියොජිතයින් එනවා..
• අයවැය ලේඛනයේ දේවල්වලට එකඟ වුණොත් පමණයි හතරවෙනි වාරකය නිදහස් වෙන්නේ.
• රට අඳුරු ආගාධයකට ඇද වැටීම කිසිවෙකුට වළක්වන්න බැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ හා ජනාධිපති අපේක්ෂකවරු අතර ජාතික එකඟතාවයක් අවශ්‍යයි..
• ජාතික ප්‍රතිපත්තියක්, ජාතික වැඩපිළිවෙළක් නීතියක් ලෙස නීති ගත කරලා ක්‍රියාත්මක කරන්න ජනවරමක් ඉල්ලා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විතරයි.
• වාහන ආනයන සීමා ලිහිල් කරන්න අද කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ පිළිබඳ සීමාවන් හෙට දැනුම් දෙනවා.
-අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

වාහන ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ අද කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් ඒ පිළිබඳ සීමාවන් හෙට දැනුම් දෙන බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (2024.09.13) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා –
මේ වසරේ දෙසැම්බර් 31 වන වනදා තෙක් පමණයි අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා 2025 වර්ෂයට අදාළ අයවැය ලේඛනයක් සම්මත වෙන්න ඕනේ. ඒක නොවුනොත් ජනවාරි මාසයේ 10 වෙනිදාට විශ්‍රාම වැටුප්, 15 වෙනිදාට අස්වැසුම සමෘද්ධිය ඇතුළු සහනාධාරය, 25 වෙනිදාට රාජ්‍ය සේවක වැටුප ඇතුළු භාණ්ඩ හා සේවා ඇතුළු පුනරාවර්තන වියදම් ගෙවීමට නොහැකි වෙනවා.
විශ්‍රාමික වැටුප ගෙවන්න දළ වශයෙන් බිලියන 30ක් වැයවෙනවා. අස්වැසුම සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවන්න රුපියල් බිලියන 15 වැය වෙනවා. මසකට වැටුප් සඳහා බිලියන 90ක්. පොලිය ගෙවන්න බිලියන 220 ක්. පුනරාවර්තන වියදම් වශයෙන් ආණ්ඩුවට එදිනෙදා පවත්වාගෙන යන්න බිලියන 360 ක් ගෙවන්න වෙනවා. 2023 වර්ෂයේ රජයේ මාසික ආදායම බිලියන 250 යි. හැම මාසෙකම බිලියන 110 ක් අඩුයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබාගන්න ණය මුදලින් තමයි මෙය පියවන්නේ. එහෙමයි රජයක් එදිනෙදා පවත්වාගෙන යාමේ කතන්දරය. රටේ ජනාධිපති කවුරු වුණත් ආණ්ඩුව කවුරු වුණත් මේ වියදම දරන්න වෙනවා. ඒ වියදම දරන්න පුළුවන් බදු හෝ බදු නොවන ආදායමක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා පසුගිය කාලය පුරාවම හැම වසරකම රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා.
යටිතල පහසුකම් වල ප්‍රාග්ධන වියදම් ණයට ගන්නවා. වාරික ගෙවන්නත් ණයට ගන්නවා. නොපියවුණු අයවැය පරතරයක් තියෙනකොට සල්ලි අච්චු ගහනවා. මින් ඉදිරියට අයවැය හැදීම සඳහා විශේෂ අණ පනත් හතරක දැක්වෙන නීතිමය නියමයන් ඉෂ්ඨ කරන්න ආණ්ඩුව බැඳිලා තියෙනවා. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත නිසා මොන ප්‍රශ්නය ආවත් මුදල් අච්චු ගැසීම තහනම්.
රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ගෙන ආ 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරන පනත යටතේ ඔරොත්තු නොදෙන ආකාරයට ණය ගන්න බැහැ. හිතෙන හිතෙන යෝජනා අයවැයට ඇතුළත් කරන්න බැරි විදිහට 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත වෙලා. අයවැය කාර්යාලයක් පිහිටවලා. විශේෂඥ විද්වතුන් පිරිසක් අයවැය සකස් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණයට ලක් කරනවා. ණය ගෙවලා දියුණු රටක් බවට පත් කරන්න 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනත සම්මත කළා. මින් ඉදිරියට කුමන ආණ්ඩුවක් බලයට පත්වුණත් අයවැය හදන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා සම්මත කළ මේ පනත් අනුවයි.
ආර්ථික පරිවර්තන පනතේ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. 2032 වෙනකොට නොපියවා ඇති මුළු ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට අනූපහක් අඩු වෙන්න ඕනේ. ආණ්ඩුව කුමක් වුවත් දල මූල්‍ය අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ඉක්මවන්න බැහැ. වාර්ෂික ණය සේවාකරන අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ඉක්මවන්න බැහැ. වර්ෂයකට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහළොවක් හෝ ඊට වැඩි මට්ටමක පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. රාජ්‍ය අයවැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ 2.3% අතිරික්කයත් තියෙන්න ඕනේ. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය සියයට එකට වඩා වැඩි වෙන්න බැහැ ආදී වශයෙන් ආර්ථිකය ගමන් කළ යුතු දිශානතිය එහි දක්වා තිබෙනවා. ඒ අනුවයි අයවැය හදන්නේ.
මේ වන විට අයවැය ලේඛනය සකස් වෙමින් පවතිනවා. ඒ සඳහා වියදම් ඇස්තමේන්තුවලට කැබිනට් මණ්ඩලය භාණ්ඩාගාරයට දැනුම් දීලා තියෙනවා. මසකට රුපියල් 25000 බැගින් ජීවන වියදම් දීමනාවක් හා රාජ්‍ය සේවක මූලික වැටුප සියයට 24ක් යි 50ක් දක්වා වැඩි කිරීමත් ඇතුළත් කරලා රාජ්‍ය සේවක අවම වැටුප 55000ක් වන ලෙස ප්‍රතිපාදන ලබා දෙන්න කියලා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද ගැන රාජ්‍ය සේවකයන්ට, පුද්ගලික අංශයේ සේවකයින්ට, වෘත්තිකයන්ට සහනයක් දෙන්න අද කැබිනට් එක යෝජනා කළා.අපේක්ශිත ආර්ථක වර්ධන වේගය සියයට තුන වූවත්, පසුගිය කාර්තු වල සියයට පහ දක්වා ඵලදායිව කාර්යක්ෂමව රට ඉදිරියට ගමන් කරලා තියෙන නිසා එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිලිබද ජාත්‍යන්තර අරමුදල යෝජනාවලිය පිළිගනිමින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක වැටුපක් ලබන රාජ්‍ය සේවකයින්ගෙන් අය කරන රුපියල් තුන්දහසක (2%) බද්දෙන් රුපියල් 500ක් අඩු කරනවා. ලක්ෂ තුනක ආදායමක් අය කරන සේවකයන්ගන් අය කරන රුපියල් 7000න් 3500ක් අඩු කරන්න යෝජනා වුණා. මසකට හාරලක්ෂ පනස්දහසක් ආදායම් ලබන සේවකයෙක්ගෙන් 76000 බද්දක් අය වෙනවා. එයින් 12500ක් අඩු කරන්න යෝජනා වුණා. හය ලක්ෂයක වැටුපක් ලබන කෙනෙක්ගෙන් අයවෙන 120000ක බද්ද 12500ක් දක්වා අඩුවෙනවා.
පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයෙම වැටුප් වීමක් වෙනවා. උපයන විට ගෙවීම් බදු වල අඩුවීමකුත් තිබෙනවා. මේ ගැලපුම් අනුව අයවැය සැකසෙන්නේ. භාණ්ඩාගාර ආරංචි මාර්ග අනුව මේ වර්ෂයේ රජයේ ණය ආපසු ගෙවීම් ඇතුළු පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් ණය ආපසු ගෙවීම් ආදී මුළු වියදම් රුපියල් බිලියන 8800 ක් විතර වෙනවා. බදු හා බදු නොවන ආදායම් මගින් බිලියන 5000ක් බලාපොරොත්තු වෙනවා.
අයවැය හිඟයක් ඇතිවෙනවා බිලියන 3800ක් පමණ. එය ණයට ගන්න වෙනවා. එයින් කොටසක් දේශීය වශයෙන් ලබාගන්නා අතර අනෙක් කොටස විදේශීය වශයෙන් ලබාගන්නවා. විදේශීය වශයෙන් ණය ලබා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබිණ විස්තීර්ණ ණය ගිවිසුම අනුව මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නත් එහි සඳහන් කොන්දේසි ඒ ආකාරයෙන් ඉටු කරන්නත් ආණ්ඩුව බැඳී සිටිනවා. ඒ අනුව 2025 දී රටින් පිට ආර්ථිකය බාහිර සම්පත් පරතරය ඇමෙරිකානු ඩොලර් මිලියන 5811 ක් බව පූර්වානුමානය කරලා තියෙනවා. එය පියවා ගැනීමේදී 663 දිගු කාලීණ ණය අරමුදල් පහසුකම් ලැබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. අයවැය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක් දෙනවා. ලෝක බැංකුව හාරසීයක්, ආසියානු සංවර්ධන බැංකුව තුන්සියයක් දෙනවා. අපි අවුරුදු තුනක් ණය නොගෙවා ඉන්න නිසා ඩොලර් මිලියන 3655 ක ණය සහනයක් ලැබෙනවා. මේ ටික නොලැබුණොත් අයවැය හදලා රටේ බාහිර ආර්ථිකය පවත්වාගෙන යන්න බැරි වෙනවා.
රනිල් වික්‍රසිංහ නොවන අපේක්ෂකයෙක් වැරදිලාවත් රටේ ජනාධිපති වුණොත් ජනපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියනවා. එහෙම කළොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැහැ. ඉදිරි මාස තුනේ මුදල් වෙන් කරලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ජනවාරි මාසයේ ඉඳලා මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බව මේ අය කියනවා. වෙනස්වීම් අනුමත වෙලා එනකොට අයවැය ලේඛනය හදන්න වෙන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිණුමෙන් වාරික තුනයි ලැබුණේ. හතරවෙනි වාරිකය සඳහා මේ මාසේ ඔවුන් ලංකාවට පැමිණෙන්නට නියමිතව තිබුණා. මැතිවරණය නිසා ඔක්තෝබර් මාසයේ ඔවුන් එන්නේ. අයවැය ලේඛනයේ දේවල්වලට එකඟ වුණොත් පමණයි හතරවෙනි වාරකය නිදහස් වෙන්නේ.
හතර වෙනි වාරිකය නිකුත් කළේ නැත්නම් අයවැය හදන්නත් බැහැ. විදේශයන්ගෙන් භාණ්ඩ අනයනය කරන්න ජාත්‍යන්තර විශ්වාසනීය භාවය ඇතිවෙන්නෙත් නැහැ. ලෝකයේ අවසාන ණය දෙන්නා ගිවිසගත් ආකාරයට කටයුතු නොකර වෙනස්වන දේශපාලන න්‍යායපත්‍ර තිබුණොත් රටේ ඇතිවෙන අවුල කොතරම්ද කියන්න බැරි වෙනවා.
දැනට රුපියල් 300 තියෙන ඩොලරය 600 ය 700 වෙයි. තනි ඉලක්කමේ තිබෙන පොලී අනුපාතය, උද්ධමන අනුපාතිකය කොයි තරම් ඉහළ යයිද දන්නේ නැහැ. තාර්කික පදනමක් යටතේ සම්මත කරලා තිබෙන අන පනත් යටතේ අයවැය ඉදිරියට නොගියොත් බංගලාදේශයක් වෙන්න පුළුවන්. රට අඳුරු ආගාධයකට ඇද වැටීම කිසිවෙකුට වළක්වන්න බැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ හා ජනාධිපති අපේක්ෂකවරු අතර ජාතික එකඟතාවයක් ඇතිකර ගත යුතුයි. සමස්ත රට පරිවර්තනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තමයි ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්තිය වෙන්නේ. ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වන්නේ ඒ ප්‍රතිපත්තිය. මේ අරමුණු ඉෂ්ට කර ගැනීමට නව ආයතන ගණනාවක් පිහිටුවනවා. ජාතික ආර්ථික කොමිෂන් සභාව, නිදහස් වෙළඳ කලාප පිළිබඳ කාර්යාංශය, ජාත්‍යාන්තර වෙළඳාම පිළිබඳ කාර්යාංශය, ජාතික ඵලදායීතාව පිළිබඳ කාර්යාංශය ආර්ථික විද්‍ය හා විදේශ වෙළඳාම පිළිබඳ ආයතනය වැනි නව ආයතන රැසක් 2025 දි පිහිටු විය යුතුයි.
ඒ නිසා රටේ බුද්ධිමත් ජනතාව ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් පල පුරුද්ද හා වගකීම් සහිතව කටයුතු කිරීම සඳහා රාමුවක් නිදහසින් පසුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඇතිවෙන්නේ. රට ඉතා විශාල ආගාධයකට 2022 – 23 කඩා වැටුණු නිසා යළි එවැනි තත්ත්වයක් ඇති නොවන්න ලෙස මේ අනපනත් සම්මත කරලා ජාත්‍යන්තර සමඟ සහයෝගිතා ගිවිසුම් වලට එළඹුණේ. අනෙක් කිසිදු අපේක්ෂකයෙක් මෙවැනි ජාතික වැඩපිළිවෙළක් න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමට තමන් පත් කරන්නයි ඉල්ලා සිටින්නේ නැහැ. ඔවුන්ට ආවේණික ඒ ඒ දේශපාලන පක්ෂවල න්‍යායපත්‍ර දියත් කරන්න ජනවරම ඉල්ලා සිටින්නේ. ජාතික ප්‍රතිපත්තියක්, ජාතික වැඩපිළිවෙළක් නීතියක් ලෙස නීති ගත කරලා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජනවරමක් ඉල්ලා සිටින එකම අපේක්ෂකයා ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.
රටේ ආනයන සීමා කරන්න බැහැ. සංචිත හිඳුන නිසා වාහන ගෙන්වීම නතර කළා. සංචාරක ව්‍යාපාර සඳහා වාහන ගෙන්වීමට මීට කලින් අවසර දුන්නා. අද කැබිනට් මණ්ඩලය වාහන ආනයන සීමා ලිහිල් කරන්න තීරණය කළා. ඒ පිළිබඳ සීමාවන් හෙට දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *