ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය තුළ මතු වී ඇති අධ්‍යයන සුබසාධන ගැටලු විසඳීම පිළිබඳ සිය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පෙබරවාරි 13 වනදා එම විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය කේ.එල් වසන්ත කුමාර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරුන් ද සමඟිනි.
විශ්ව විද්‍යලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත ඇතුළු පීඨාධිපතිවරුන්, පරිපාලන කාර්ය මණ්ඩලය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ ද මෙහි දී සාකච්ඡා සිදු විය. ගැටලු රැසක් සඳහා සිය ඉදිරි මැදිහත්වීම් ගැන කරුණු දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව නේවාසික ඉඩ පහසුකම් හිඟ වීම සම්බන්ධයෙන් කෙටිකාලින සහ දිගුකාලීන විසඳුමක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.
එමෙන් ම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළින් ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා මේ වන විටත් මූලික මැදිහත්වීම් සිදු කර ඇති අතර ගිලන් රථයක් ලබා දීම සම්බන්ධයෙන් ද කටයුතු ආරම්භ කර ඇති බව ප්‍රකාශ විය. භූ විඥාපන පීඨයේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ මැදිහත්වීම ද ඇතිව විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අවධානය යොමුව ඇති බව එහිදී ඉස්මතු වූ කරුණු අතර විය.
සියලු පීඨ නියෝජනය කරමින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් ම ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ට ද සිය අදහස් ඉදිරිපත් කිරීමට විවෘත සාකච්ඡා වටයක් මෙහිදී පැවතුණි. අධ්‍යයන සහ අන්‍යයන කාර්ය මණ්ඩල හිඟයට පිළියම් යෙදීම, නේවාසික ඉඩ පහසුකම් හිඟ වීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන මාර්ගගත ව දේශන පැවැත්වීමේ ක්‍රමයේ ඇති සාධනීය හා නිශේධනීය බව ඇතුළු ඒ ඒ පිඨයට අනන්‍ය අධ්‍යයන සුබසාධන ගැටලු මෙන් ම නරගයෙන් දුර බැහැර ව පවතින විශ්ව විද්‍යාලයක් වීම හේතුවෙන් පැන නැග ඇති ගැටලු ආදී බොහෝ කරුණු ප්‍රමාණයක් කෙරෙහි මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ පුමුඛතාවයේ පිළිවෙළට ශිෂ්‍ය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බවත් මෙවන් ගැටලු පවතින තවත් විශ්ව විද්‍යාල කිහිපයක් කෙරෙහි ම සිය අවධානය යොමු ව ඇති බවත්, ඉදිරියේ දී එම විශ්ව විද්‍යාල නීරීක්ෂණය කිරීමට ද තමා බලාපොරොත්තු වන බවත් ය.
මාධ්‍ය ඒකකය.



