උසස් වීමක් සේ සළකා වැටුප් ගණනය කිරීමට අනුමැතිය
.උසස් වීම් සඳහා සුදුසුකම් සපුරා ගැනීමට සහන කාලයක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරන නව චක්‍රලේඛය නිකුත් කර ඇත. 2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතිය පරිදි, මීට පෙර පැවති 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති අවලංගු කර, ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ VII වන පරිච්ඡේදයේ 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කරමින් මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර තිබේ.
මේ අනුව වසර ගණනාවක් පුරා විදුහල්පතිවරුන් විසින් ඉල්ලුම් කරන ලද වැටුප් ගැටලුව විසඳීම සඳහා මූලික පියවර තබමින්, උසස් වීමක් සේ සලකා විදුහල්පතිරුන්ගේ වැටුප් ගණනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ.
එමෙන් ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ පළමු ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව විශේෂ සහන කාලසීමාවක් ලබාදීමට ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව 2027.12.31 දක්වා උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීමට විදුහල්පතිවරුන් සඳහා සහන කාල සීමාවක් ලබාදී ඇත.
