6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ අයිතිය DeSilva Holdings හිමිකර ගනියි

තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්‍රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්‍රියංග ද සිල්වා මහතා එහි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම ව්‍යාපාරික කටයුතුවල නිරත වන වරලත් සිවිල් ඉංජිනේරුවෙකු සහ ව්‍යවසායකයෙකු වන ද සිල්වා මහතා, Sequoia Consultants සමාගමේ බහුතර කොටස් අයිතිය ද දරනු ලබයි.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රියංග ද සිල්වා මහතා 1983 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇත. ඔහු දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 60න් ඉහළ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සහ තරුණ පරපුර ක්‍රීඩාවට යොමු කිරීම වෙනුවෙන් දිගු කලක සිට කැපවන ඒ මහතා ලාභ නොලබන දකුණු කැලිෆෝනියා තරුණ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්වේච්ඡාවෙන්  කටයුතු කරයි.

කණ්ඩායමේ අයිතිය තවදුරටත් ස්ථාවරව පැවතීම පිළිබඳව අදහස් දක්වමින් LPL තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ”ප්‍රියංග ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ Dambulla Sixers කණ්ඩායම අඛණ්ඩව ඉදිරියට යාම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා සතුටු වෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ව්‍යවසායකයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කැපවන්නකු ලෙස සිල්වා මහතා මෙම කණ්ඩායමට සුවිසල් ශක්තියක් වනවා. Dambulla Sixers කියන්නේ LPL තරඟාවලියේ ඉතා වැදගත් කොටසක්. මෙම ස්ථාවරත්වය තරඟාවලිය වඩාත් තරඟකාරී සහ වාණිජමය වශයෙන් සාර්ථක T20 තරඟාවලියක් පැවැත්වීමට ඉතා වැදගත් වනු ඇතැයි මා සිතනවා.” යනුවෙන් පැවසීය.  

IPG Global සමාගමේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ”ප්‍රියංග ද සිල්වා මහතාගේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඇති අවබෝධය, ව්‍යාපාරික නායකත්වය සහ Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් වන දිගුකාලීන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. ඔහුගේ මෙම අඛණ්ඩ දායකත්වය කණ්ඩායමේ ස්ථාවරත්වයට මෙන්ම, LPL තරඟාවලියේ වර්ධනයට ඉමහත් ශක්තියක් වෙනවා. ” යනුවෙනි.  

Dambulla Sixers කණ්ඩායමේ හිමිකරු වන ප්‍රියංග ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට තමන් තුළ වන කැමැත්ත හේතුවෙන් මෙම කණ්ඩායම සඳහා ආයෝජනය කිරීමට කටයුතු කළ බවයි. LPL තරඟාවලිය අද වන විට විශාල දියුණුවක් ලබා ඇති අතර මෙම අනුග්‍රාහකත්වය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය හා අනාගත ජයග්‍රහණ වෙනුවෙන් දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බර වන බවද සිල්වා මහතා පවසා සිටින ලදී.