සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000 සීමාව පසුකරමින් BYD සිය අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි.

මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි වේ. එමෙන්ම, වර්ධනය වන මෙම ඉල්ලුමට සරිලන පරිදි දිවයින පුරා ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ගොඩනැගීමට JKCG Auto දක්වන අඛණ්ඩ කැපවීම ද මෙයින් මනාව පිළිබිඹු වේ.

වාහන ආනයන කිරීම් නැවත ආරම්භ වී කෙටි කලක් තුළ ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ කැපී පෙනෙන කොටසක් හිමිකර ගැනීමට BYD සමත්ව ඇත. ඒ අනුව, මෙරට ලියාපදිංචි කර ඇති සමස්ත අලුත් වාහනවලින් (brand new) 37%කට ආසන්න ප්‍රමාණයක් සහ සමස්ත විද්‍යුත් වාහන (EV) ලියාපදිංචියෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් BYD සතු වේ.

මෙලෙස වේගයෙන් වර්ධනය වන විදුලි වාහන භාවිතයට සමගාමීව, JKCG Auto සිය අලෙවියෙන් පසු සේවා ජාලය පුළුල් කිරීම සඳහා ශක්තිමත්ව ආයෝජනය කර ඇත. මේ වන විටත් කොළඹ, වත්තල, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ අම්පාර යන ප්‍රදේශ ආවරණය වන පරිදි ඔවුන්ගේ සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.

JKCG Auto ඔවුන්ගේ නවතම ව්‍යාප්ති කටයුතුවලින් පසුව, මේ වන විට දිවයින පුරා දිනකට වාහන 200කට වඩා වැඩි සංඛ්‍යාවකට සේවා සැපයීමේ හැකියාව ඔවුන් සතු වේ. මෙම සියලු සේවාවන් මෙහෙයවනු ලබන්නේ BYD සහතිකය ලත්, අලෙවියෙන් පසු සේවා පිළිබඳ විශේෂඥයන් 150කට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසිනි.

මෙම සේවා ජාලයට අමතර ශක්තියක් එක් කරමින්, BYD සහ JKCG Auto එක්ව එකවර වාහන 100කට වැඩි සංඛ්‍යාවක් හැසිරවිය හැකි ශ්‍රී ලංකාවේ විශාලතම අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු මධ්‍යස්ථානය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. මීට අමතරව, පාරිභෝගික පහසුව වෙනුවෙන් JKCG Auto දිවයින පුරා වේගවත් charge කිරීමේ ස්ථාන 43කට වඩා වැඩි සංඛ්‍යාවක් පිහිටුවා තිබේ. එමෙන්ම සෑම පාරිභෝගිකයෙකුටම කිලෝවොට් 7ක (7kW) නිවසේදී භාවිත කළ හැකි home charger එකක්ද ලබා දී ඇති අතර, එමඟින් ඕනෑම ස්ථානයක සිට තම වාහන charge කරගනිමින් විශ්වාසයෙන් යුතුව තම ගමන්-බිමන් යාමට BYD වාහන හිමියන්ට අවස්ථාව ලැබී ඇත.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි BYD ආසියා-පැසිෆික් කලාපීය මෝටර් රථ අලෙවි අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සහ අලෙවියෙන් පසු සේවා අධ්‍යක්ෂ පීටර් ෆෙන්ග් මහතා පැවසුවේ “දකුණු ආසියාව තුළ BYD සඳහා ශ්‍රී ලංකාව වැදගත් වෙළෙඳපොලක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම මෙරට ජනතාව බලාපොරොත්තු වූවාටත් වඩා වේගයෙන් විද්‍යුත් වාහන භාවිතයට යොමු වෙමින් සිටිනවා.”

“වසරක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව වාහන සේවා වාර 20,000ක් සම්පූර්ණ කිරීම සුවිශේෂී ජයග්‍රහණයක්. මෙම ගමන සඳහා අපට ගැළපෙනම සහ නිවැරදිම සහකරු John Keells CG Auto බව මෙමඟින් අපට මනාව තහවුරු වනවා. ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු මට සියැසින් දැක ගැනීමට අවස්ථාව උදා වූ අතර, මෙරට අලෙවියෙන් පසු සේවා ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට අප සූදානම්.” යනුවෙනි.

John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ ‘’මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වීමට ලැබීම ගැන අප බෙහෙවින්ම ආඩම්බර වනවා. අප මුල්වරට BYD සමඟ අත්වැල් බැඳගත් මොහොතේ සිටම, ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මෙම සන්නාමයට දැඩි කැමැත්තක් දැක්වූ බව අප දැන සිටියා. කෙසේ වෙතත්, වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට පාරිභෝගිකයින් දැක් වූ දැඩි උනන්දුව අපගේ මුල්කාලීන අපේක්ෂාවන් ද අභිබවා ගොස් තිබෙනවා. මෙම ඉල්ලුම අපට වඩාත් වේගයෙන් සහ ගුණාත්මකව වර්ධනය වීමට ලොකු ශක්තියක් වුණා. මෙම සාර්ථකත්වය ඉදිරියටම රැගෙන යමින්, ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියාවටම ආදර්ශයක් වන අයුරින් අලෙවියෙන් පසු සේවාවේ ඉහළම ප්‍රමිතියක් පවත්වා ගැනීමට අප කැපවී සිටිනවා.” යනුවෙනි.

දිවයින පුරා පැය 24 පුරාම මාර්ගස්ථ හදිසි සහායක සේවා ලබා දීමෙන් සහ ඉක්මනින් අමතර කොටස් ලබා දෙන වර්ග මීටර් 10,000 ක අමතර කොටස් ගබඩාවක් පවත්වාගෙන යාමෙන් JKCG Auto පාරිභෝගික සේවාව සඳහා ඉහළ ප්‍රමිතියක් සකස් කරමින් සිටී. ඉදිරියේදී මීගමුව, අනුරාධපුරය මෙන්ම යාපනය යන ප්‍රදේශවල නව සේවා මධ්‍යස්ථාන විවෘත කිරීමට ද සමාගම සැලසුම් කරයි. මෙමඟින් ශ්‍රී ලංකාව පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් කරා ගෙන යන තිරසාර ගමනට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ඔවුන් ලබා දෙයි.