ජාත්‍යන්තර මට්ටමේ සමාරම්භක උත්සවයක අසිරිය දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට උදා කර දෙයි
ක්‍රිකට් සඳහා උනන්දුවක් දක්වන ලොව පුරා ඕනෑම අයෙකුට ජූලි 1 වැනිදා සිට BookMyShow වෙතින් ටිකපත් මිලදී ගැනීමට අවස්ථාව
2026 LPL තරඟාවලිය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අතර කොළඹ SSC හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවය ඉතා ආකර්ෂණීය අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී ඩ්‍රෝන යානා 500ක් යොදා ගනිමින් ආකර්ෂණීය ගුවන් සන්දර්ශනයක් පැැවැත්වීමට තරඟාවලියේ නිල අයිතිය දරන IPG සමූහය සූදානමින් සිටියි. ඒ අනුව මෙවර LPL හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟාවලියක මෙතෙක් පැවැත්වූ විශාලතම හා වඩාත් ආකර්ෂණීයම සමාරම්භක උත්සවය බවට පත් වනු ඇත.
මෙවර LPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ජූලි 1 වනදා සිට BookMyShow වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා මිලදී ගත හැකිය. ක්‍රීඩාශීලී T20 ක්‍රිකට් තරඟයක උපරිම ආශ්වාදය විඳගනිමින් විචිත්‍රවත් ඩ්‍රෝන සන්දර්ශනයක් සමඟින් ජාත්‍යන්තර තත්වයේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක අත්දැකීම විඳගැනීමට ක්‍රීඩා ලෝලීන්ට හැකියාව උදා වේ. ඒ සඳහා හැකි ඉක්මණින් තමන්ගේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගැනීමට ජූලි 1 වැනිදා සිට ක්‍රීඩා ලෝලීන්ට හැකියාව ඇත.
මෙම සමාරම්භක උත්සවය 6 වන LPL තරඟාවලියේ සාර්ථකත්වයට කදිම පදනමක් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඒ තුලින් ක්‍රිකට් ලෝලීන්, පවුල්වල සාමාජිකයින්, විවිධ කණ්ඩායම්වලට හිතවත් ප්‍රේක්ෂකයින් මෙන්ම රූපවාහිනියෙන් සහ ඩිජිටල් මාධ්‍යවලින් සජීවීව නරඹන සැමට අසමසම අත්දැකීමක් ලබා දීමට IPG සමූහයට හැකි වනු ඇත.
මෙම සැමරුමෙහි සුවිශේෂීම අංගය වන ඩ්‍රෝන යානා 500ක ගුවන් සංදර්ශනය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාවක් වනු නිසැකය. එම සංදර්ශනය විශේෂයෙන් සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය, කණ්ඩායම්හි විශිෂ්ටත්වය හා ක්‍රීඩාශීලීත්වය ඉහළ නැංවීම වෙනුවෙනි.
සමාරම්භක උත්සවයේ සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් IPG සමූහයේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා “LPL කියන්නේ ක්‍රිකට් විතරක් නෙවෙයි. ප්‍රේක්ෂකයින්ට හැමදාමත් මතක හිටින අත්දැකීමක් ලබා දෙන සුවිසල් අවස්ථාවක්. මෙවර තරඟාවලියේ ජවය, ඉදිරි අරමුණු සහ වර්ධනය මැනවින් පෙන්වන දැවැන්ත සන්දර්ශනයක් සමඟින් 2026 LPL තරගාවලිය ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඩ්‍රෝන යානා 500ක ගුවන් සන්දර්ශනය සමඟින් ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක සජීවී හැඟීම ලබා දෙන මෙම සුවිශේෂී සමාරම්භක උත්සවය නැරඹීමට පැමිණෙන ලෙස ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කර සිටිනවා” යනුවෙන් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ LPL තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේ “කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු LPL තරඟය මේ තරඟාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. ඒ වගේම ඩ්‍රෝන 500ක සන්දර්ශනය හේතුවෙන් සමාරම්භක රාත්‍රිය ප්‍රේක්ෂකයන්ට තවත් අමතක නොවන දිනයක් බවට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙවන් නව්‍යකරණ අත්දැකීම් හේතුවෙන් වැඩි පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවට සමීප වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන තරඟ සඳහා මෙම සමාරම්භය තුලින් උද්යෝගිමත් ආරම්භයක් ලබාදීම වෙනුවෙන් සියලු දෙනාට ඒ සමඟ එක්වන ලෙස මේ මොහොතේ ආරාධනා කර සිටිනවා.” යනුවෙනි.
2026 LPL සමාරම්භක උත්සවයත් සමඟින් ප්‍රමුඛතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර T20 විශිෂ්ටයින්ගෙන් සැදුම්ලත් ප්‍රබල කණ්ඩායම් 5ක් සමඟින් මෙවර තරඟ වාරය නිල වශයෙන් ආරම්භ වනු ඇත. ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් ක්‍රිකට් තරඟාවලියක් සහ කණ්ඩායම් අතර සුවිසල් තරඟකාරීත්වය හේතුවෙන් මෙවර තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ උනන්දුව දිනෙන් දින ඉහළ යනු ඇතැයි බලාපෙරොත්තු වේ.


