22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

MAS, 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය එළිදක්වයි

2026 ජූලි 23 වනදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ තරග සහ podium සඳහා වන ඇඟලුම් කට්ටල පසුගියදා නිල වශයෙන් බාරදීම සිදු විය. ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය (CGA Sri Lanka) සමඟ එක්ව නිර්මාණය කළ මෙම ඇඟලුම් කට්ටලය, ජූලි 15 වනදා කොළඹ ඔලිම්පික් නිවහනේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ මාධ්‍ය හමුවේදී එළිදැක්විණි.
මෙම නිල ඇඟලුම් කට්ටල නිර්මාණය කර ඇත්තේ මලල ක්‍රීඩා, පැරාලිම්පික් ක්‍රීඩා, බොක්සිං, ජිම්නාස්ටික්, පිහිනුම්, බර ඉසිලීම සහ ජූඩෝ යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්වන 42 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙනි. සෑම ක්‍රීඩාවකටම ආවේණික වූ සිරුරේ චලනයන්, නිසි හැඩය සහ සුවපහසුව යන සුවිශේෂී අවශ්‍යතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් හා සැලකිල්ලකින් යුතුව ඉහළ කාර්යසාධනයක් සහිතව MAS සමූහය විසින් මෙම ඇඳුම් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. තවද මෙම සමස්ත ඇඟලුම් එකතුව පුරාම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මැනවින් පිළිබිඹු වේ.
මෙවර ක්‍රීඩා ඇඟලුම් කට්ටල සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා උරුමය සමඟ දැඩිව බද්ධව පවතින අලි ඇතුන්ගෙන් ආභාෂය ලැබූ “Sacred Giants of Sri’’ යන තේමාව යටතේය. පරම්පරා ගණනාවක සිට ශක්තිය, තේජස, අභිමානය සහ දරාගැනීමේ හැකියාව සංකේතවත් කිරීමට අලි ඇතුන් යොදා ගැනේ. සීමිත පහසුකම්, ඉහළ බලාපොරොත්තු සහ බාහිර ලෝකයට නොපෙනෙන නොයෙකුත් අභියෝග මධ්‍යයේ ජාත්‍යන්තර තලයට පිවිසි අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම ද මෙම ගුණාංගවලින් මැනවින් පිළිඹිබු වේ. මෙම නිර්මාණ රට වෙනුවෙන් අභිමානය පෙරදැරිව ඔවුන් විදහා දක්වන විනය, නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීමට සිදු කරන උපහාරයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් MAS සමූහයේ නිෂ්පාදන නවෝත්පාදන අධ්‍යක්ෂ අරෝෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ “මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ජාතික ඔලිම්පික් කමිටුව (NOC) සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ලැබීම මහත් අභිමානයක් වූවා. MAS හි දක්ෂ නිර්මාණ සහ නවෝත්පාදන කණ්ඩායම්වල නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ඇඳුම් කට්ටල යථාර්ථයක් බවට පත්වුණේ. මෙම ක්‍රීඩා ඇඟළුම් තුළින් සෑම ක්‍රීඩාවකටම අවශ්‍ය ඉහළ කාර්යසාධනයක් ලබාදෙන අතරම, ශ්‍රී ලාංකේය අනන්‍යතාවයද මෙයින් මැනවින් නිරූපණය වනවා. අලි ඇතුන් සතු ශක්තිය සහ නොනැසී පැවතීමේ හැකියාව යන ගුණාංග පදනම් කරගනිමින් සිදු කළ මෙම නිර්මාණය, ජාත්‍යන්තර තලයේදී අපේ රට නියෝජනය කරන ජාතික කණ්ඩායමට විශාල දිරිගැන්වීමක් වනු නොඅනුමානයි.” යනුවෙනි.
“ශ්‍රී ලාංකේය ක්‍රීඩාව වෙනුවෙන් අප සතු කැපවීම ක්‍රීඩා ඇඳුම් කට්ටල ලබාදීමට පමණක් සීමා වන්නේ නැහැ. අපගේ සැබෑ අරමුණ වන්නේ ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කර ගැනීමට අත්වැලක් වීම සහ ජාත්‍යන්තර තරග බිමේදී නොසැලෙන විශ්වාසයකින් යුතුව දක්ෂතා දැක්වීමට ඔවුන්ට අවශ්‍ය අවස්ථා නිර්මාණය කර දීමයි.” යනුවෙන් මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් MAS සමූහයේ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා රජිතා ජයසූරිය මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ඇඟළුම් නිෂ්පාදකයා වන MAS සමූහය, දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේදී ඔවුන්ගේ උපරිම දක්ෂතා දැක්වීම සඳහා අඛණ්ඩව අත්වැලක් සපයයි. වසර ගණනාවක සිට විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරන ජාතික කණ්ඩායම් වෙත තම විශේෂඥ දැනුම හා දායකත්වය ලබාදීමට MAS කටයුතු කර ඇති අතර, එමඟින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි සඳහා හොඳින් සූදානම් වීමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු පිටුවහලක් ලැබී ඇත.

 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz