එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාල විමර්ෂණවල අවසන් තීරණ අනුව, රටවල් 18ක් සඳහා 10%ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉතිරි රටවල් 42 සඳහා 12.5%ක තීරුබද්දක් පැනවෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මුලදී සඳහන් වූ පරිදි ශ්‍රී ලංකාව 12.5% තීරුබදු කාණ්ඩයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරුණු අතර, එසේ සිදුවූයේ නම් ප්‍රධාන තරගකාරී රටවල් රැසක් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවට සැලකිය යුතු අවාසියක් ඇතිවීමට ඉඩ තිබිණි.
කෙසේ වෙතත්, මෙම මාසයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය(USTR) වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව 10% තීරුබදු කාණ්ඩයට ඇතුළත් කර තිබීම පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය සතුට පළ කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය ඇතුළු ප්‍රධාන තරගකාරී රටවල් සමඟ සමාන 10% තීරුබදු අනුපාතයකට ඇතුළත් වී ඇත.
තරගකාරී රටවල් සමඟ සමාන තීරුබදු අනුපාතයක් ලබාගැනීම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) දිගු කලක් තිස්සේ අඛණ්ඩව සහ සක්‍රීයව මැදිහත්ව සිටි ප්‍රධාන කරුණක් බව එම සංසදය සඳහන් කරයි. මෙම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් වෙත ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කරන බව ද පැවසීය.
එමෙන්ම, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ කේ.ඒ. විමලෙන්තිරාජා මහතාට ද විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතු බව එම සංසදය අවධාරණය කරයි. ඔවුන් වාණිජ දෙපාර්තමේනතුවේ නිලධාරීන් සහ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කණ්ඩායම සමඟ එක්ව පසුගිය මාස කිහිපය පුරා මෙම කා¾යය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කළ බව ද වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළක ක්‍රියාත්මක වන අතර, තීරුබදු අනුපාතයෙහි 2.5%ක පමණ සුළු වෙනසක් පවා තරගකාරී රටකට ඇණවුමක් අහිමි වීමට හෝ දිනා ගැනීමට තීරණාත්මක සාධකයක් විය හැකිය. එබැවින් බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය වැනි ප්‍රධාන තරගකාරී රටවලට හිමි තීරුබදු මට්ටමට සමාන තීරුබදු අනුපාතයක් ශ්‍රී ලංකාවටද ලබා ගැනීම, මෙරට විශාලතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තයේ තරගකාරීත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම දිවයින පුරා කාන්තාවන් විශාල සංඛ්‍යාවකට රැකියා සපයන මෙම ක¾මාන්තයේ ස්ථාවරත්වය සහ අනාගත වර්ධනය සඳහා එම තීරුබදු සමානත්වය ඉතා වැදගත් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අවධාරණය කරයි.
මෙම ප්‍රතිඵලය අහඹු ලෙස ලැබුණු එකක් නොවන අතර ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වල සිට වොෂින්ටන් නුවරදී සිදුකළ සෘජු නියෝජනයන් දක්වා, කර්මාන්ත අංශය සහ රජය සියලු මට්ටම්වලදී අඛණ්ඩව හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්කරගැනීමට හැකිවූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වයට සෘජුව බලපාන කරුණු සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සහ රජය සමීප හවුල්කාරිත්වයකින් ක්‍රියා කළ විට ලබාගත හැකි ප්‍රතිඵල පිළිබඳ මෙය ප්‍රබල උදාහරණයක් බවද එම සංසදය අවධාරණය කරයි.
“බ්‍රහස්පතින්දා දිනයේ අත්කරගත් ප්‍රගතිය ආරක්ෂා කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සමාන තරගකාරී පදනමක සිට කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම තහවුරු කිරීමටත්, රජය සමඟ පවතින මෙම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කලේය.
