22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

යුද්ධයෙන් විනාශ වූ වලංචියන්කුලම වැව යළි ජීවනයට – ප්‍රතිසංස්කරණය කල වැව ගොවි ජනතාව වෙත භාරදෙයි.

යුද ගැටුම් හේතුවෙන් දිගු කාලයක් පුරා විනාශ වී පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ වලංචියන්කුලම වැව යළි ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාව වෙත භාරදීමේ උත්සවය 2026 ජූලි 20 දින පැවැත්වුණි. මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ප්‍රධානත්වය දැරීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 26ක වියදමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මගින් වැව පාරම්පරික හා නවීන වාරි තාක්ෂණයන් ඒකාබද්ධ කරමින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ. එහි සොරොව් දෙකක්, ගොඩවාන සහ පිටවාන ඉදිකරමින් ජල කළමනාකරණය වඩා කාර්යක්ෂම කර ඇත.
කිලෝමීටර 1.2ක දිගින් යුත් වැව් බැම්ම සංවර්ධනය කර ඇති අතර, වැවේ ඇළ මාර්ගය චයිල්ඩ් ෆන්ඩ් (ChildFund) නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉදිකර තිබීම විශේෂත්වයකි.
මෙම වැව ප්‍රතිසංස්කරණය වීමෙන් ගොවි පවුල් 90කට අධික පිරිසකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවන අතර, කලක් පුරන්ව පැවති කුඹුරු ඇතුළු අක්කර 180ක පමණ වගා භූමි යළි කෘෂිකර්මයට යොදාගැනීමට හැකිවනු ඇත. ඒ හරහා ප්‍රදේශයේ වී ඇතුළු බෝග නිෂ්පාදනය වර්ධනය කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලගනාදන් මහතා, මුලතිව් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් එෆ්. කැනීජුඩ් මහතා ඇතුළු ප්‍රදේශීය නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

වලංචියන්කුලම වැව යළි ජීවනයට පත් කිරීම, යුද්ධයෙන් පසු ප්‍රදේශයේ කෘෂිකාර්මික නැවත නැගී සිටීමේ තවත් සාර්ථක පියවරක් ලෙස සැලකේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz