දුර්ලභ සහ ලබා ගැනීමට අපහසු ඖෂධ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමකට එලඹීම මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
අදාල ගිවිසුම තුලින් ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ ප්‍රතිරෝධීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් දායකත්වය සැලසෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සතුව පවතින ජාත්‍යන්තර ප්‍රසම්පාදන යාන්ත්‍රණ සහ පූර්ව සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගේ ජාලයන් භාවිත කරමින්, සපයා ගැනීමට අපහසු ඖෂධ වෙත ප්‍රවේශය ලබාදීමට මෙහිදී කටයුතු කෙරේ.
මෙම හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සහ අවශ්‍ය ඖෂධ වඩාත් කාර්යක්ෂමව හා සාධාරණ මිල ගණන් යටතේ ලබාදීමට හැකිවීම, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වනු ඇත.

අදාල අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) පී. පී. එස්. රෝහණ ද සිල්වා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. පී. ඒ. එල් රණවීර මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඊ. ඒ රත්නසේන, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්. එස්.එන් බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජ්‍ය නේවාසික නියෝජිත මරිනා ටෙන් (Ms. Marina Ten), ආර්ථික විද්‍යාඥ ආචාර්ය වාගීෂ ගුණසේකර (Dr. Vagisha Gunasekara, Economist) යන මහත්ම මහත්මින් එක්ව සිදු කෙරිණි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට එක්සත් නේවාසික නියෝජිත අසුසා කුබෝටා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මිහු මෙම ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (01) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.