ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සංවිධානය කරන ලද "ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය" 2026 ඔක්තෝබර් මස 11 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා බත්තරමුල්ල සෙත්සිරිපාය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ (11 වන මහල - UDA) දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

"ළමා විවාහ තුරන් කරමු – ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයෝජනය කරමු" යන කාලෝචිත තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වූ මෙම ජාතික උත්සවය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී විශ්‍රාමික හිටපු මහේස්ත්‍රාත් / මහධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසංක සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සාර්ථකව ක්‍රියාත්මක විය.

වැඩසටහනේ විශේෂාංග:

විශේෂඥ දේශන සහ දැනුවත් කිරීම්:

මහාචාර්ය රංගික හල්වතුර මහතා – "කලාව - ගැහැණු ළමයාගේ මානසික ඒකාග්‍රතාව වර්ධනය කරයි"

වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා – "නව යොවුන් වියේ ළමුන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග ජයගැනීම"

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් ජයන්ත රණේපුර මහතා (කැලණිය විශ්වවිද්‍යාලය) – "ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව"

තිනුරි තිසේරා මහත්මිය (සයිබර් ආරක්ෂණ ඉංජිනේරු - Sri Lanka CERT) – "ඩිජිටල් යුගයේ ගැහැණු ළමයා"

සංස්කෘතිකාංග:

පොලිස් සෞන්දර්ය පුහුණු ආයතනය, ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් සහ එස්.ඕ.එස්. (SOS) ළමා ගම්මානයේ දරුවන් විසින් ඉදිරිපත් කළ අලංකාර නර්තනාංගවලින් උත්සව සභාව වර්ණවත් විය.

සම්මාන, පදක්කම් සහ සහතිකපත්‍ර ප්‍රදානය:

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සංවිධානය කරන ලද "සිතුවිලි සිත්තම් - 2025" ජාතික මට්ටමේ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් වෙත සම්මාන, පදක්කම් සහ සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි.

2026 ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනයට සමගාමීව සංවිධානය කරන ලද කෙටි චිත්‍රපට තරගයේ (පාසල්, උසස් අධ්‍යාපන හා විවෘත අංශයන්හි) ප්‍රථම ස්ථාන දිනූ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සහ එම ජයග්‍රාහකයින් ඇගයීම ද මෙහිදී උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.