• "කර්මාන්ත ක්ෂේත්‍රයේ කාලීන අවශ්‍යතා සහ අනාගත ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි ඉංජිනේරු අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසිය යුතුයි"

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින කාලීන අවශ්‍යතා සහ අනාගත තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් වන විධිමත් ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුව 2026 ඔක්තෝබර් 28 වැනි දින ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රථම වරට රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට ගැළපෙන, ගුණාත්මක හා ඵලදායී ඉංජිනේරු අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම විශේෂ කමිටුව පත් කරන ලදී.

මෙම හමුවේදී ඉංජිනේරු හා තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය, එම ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සහ අනාගත දිශානතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම, ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළින් පවතින අභියෝග ජය ගැනීමටත්, ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා උපායමාර්ගික ක්‍රියාමාර්ග හඳුනා ගැනීමටත් අවධානය යොමු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රය යනු ඉංජිනේරුවන් බිහි කිරීමට පමණක් සීමා නොවූ, තාක්ෂණික ශිල්පීන් සහ සහායක කාර්ය මණ්ඩලය ඇතුළු විවිධ වෘත්තීය කාණ්ඩ රැසක් නියෝජනය වන පුළුල් ක්ෂේත්‍රයක් බව අවධාරණය කර සිටියාය. එම සියලු වෘත්තීය අවශ්‍යතා ආවරණය වන පරිදි මෙරට තෘතීයික අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්ෂණික ප්‍රවණතා හමුවේ, ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය වර්තමාන සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ස්ථාවරව සකස් කළ යුතු බව ඇය සඳහන් කළ අතර ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙනස්කම්වලට අනුකූලව පාඨමාලා යාවත්කාලීන කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. එමෙන්ම, ඉංජිනේරු අධ්‍යාපනය සැලසුම් කිරීමේදී මෙරට ජාතික ආර්ථිකය සහ දේශීය කර්මාන්ත අවශ්‍යතා ද ප්‍රමුඛ කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය අධ්‍යාපන ධාරාවන් හඳුන්වා දීමත් සමඟ තෘතීයික අධ්‍යාපන පද්ධතිය ද ඊට ගැළපෙන පරිදි වෙනස් විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ඒ අනුව සිසුන්ට අධ්‍යාපනයට පිවිසීමටත්, අවශ්‍ය අවස්ථාවලදී වෙනත් අධ්‍යාපන මාර්ග වෙත යොමු වීමටත් හැකි නම්‍යශීලී ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නාය. සිසුන්, කර්මාන්ත ක්ෂේත්‍රය, විශ්වවිද්‍යාල ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව සෑම පාර්ශ්වයක ම එකඟතාව මත ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය සකස් කළ යුතු බව ද ඇය අවධාරණය කළාය.

මෙම අවස්ථාව සඳහා කමිටු සභාපති, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. වී. එම්. උදයංග හේමපාල මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ සහභාගී වී සිටියහ.