ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින්, කම්කරු, වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
කොරියානු ජනරජයේ ජාතික දින සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් කොරියානු ජනරජයේ ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ නව තානාපතිවරිය ලෙස නම් කර ඇති කිම් යුන්-ජුං මහත්මිය ද උණුසුම් ලෙස පිළිගත්තේය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර සබඳතා ඉතිහාසය තුළ ගැඹුරින් මුල් බැස ඇති බවත්, 1977 වසරේ නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන හා ආර්ථික සබඳතාවලින් ඔබ්බට ගොස් දෙරටේ ජනතාව අතර සබඳතා ද ශක්තිමත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
කොරියානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වැදගත් දායකත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා, මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23,000කට වැඩි පිරිසක් කොරියානු ජනරජයේ රැකියාවල නිරත වන බව සඳහන් කළේය.
රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිෂ්පාදන, ධීවර, ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත සහ සේවා ඇතුළු වැදගත් ක්ෂේත්‍ර රැසකට ඔවුන් දායක වන බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් කොරියානු රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්තූතිය ද අමාත්‍යවරයා පළ කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස කොරියානු ජනරජය ලබාදෙන දායකත්වය ද අමාත්‍යවරයා අගය කළේය. අධ්‍යාපනය, ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, ජල කළමනාකරණය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා කොරියානු නිල සංවර්ධන ආධාර ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම KOICA ආයතනය හරහා ලබාදෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා වැදගත් දායකත්වයක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා තවදුරටත් පුළුල් වෙමින් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, 2024 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශනය 1 වන මට්ටම දක්වා පහත දැමීම පිළිබඳව කොරියානු රජයට ස්තූතිය පළ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේදී කොරියානු සංචාරකයන්ගේ පැමිණීම 12,000කට ආසන්න මට්ටමකට ළඟා වූ බවද ඔහු සඳහන් කළේය. කොරියානු ජනරජය වීසා රහිත ප්‍රවේශ ක්‍රමයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජකයෙකු සහ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස කොරියානු ජනරජය සමඟ තවදුරටත් නව ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමටත්, වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
ඩිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව කොරියානු ජනරජය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සහ හදිසි ආධාර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. එය දෙරට අතර පවතින අව්‍යාජ මිත්‍රත්වය, සහයෝගීතාව සහ මානුෂීය බැඳීම මනාව පිළිබිඹු කරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 49ක් සම්පූර්ණ වන මෙම අවස්ථාවේදී, 2027 වසරේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය හෙවත් ස්වර්ණ ජයන්තිය සැමරීමට හැකිවීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අවසානයේදී අමාත්‍යවරයා, කොරියානු ජනරජයේ ජනාධිපති ලී ජේ මියුන්ග් මහතාගේ සහ කොරියානු ජනතාවගේ සෞඛ්‍ය, සතුට සහ යහපැවැත්ම වෙනුවෙන්ද, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව වෙනුවෙන්ද, කොරියානු ජනරජයේ අඛණ්ඩ සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන්ද සුබ පැතුම් පළ කරමින් සව්දිය පිරීමක් ද සිදු කළේය.