ලොව ප්‍රමුඛතම අධ්‍යාපන සේවා සපයන්නෙකු වන Pearson විසින් ‘’Skills That Shape the World’’ යන තේමාව පෙරදැරි කරගනිමින් BTEC Connect South Asia සමුළුව පසුගියදා පවත්වන ලදී. වේගයෙන් වෙනස් වන වෘත්තීය ලෝකයට ගැළපෙන පරිදි ඕනෑම ක්ෂේත්‍රයකට ගැළපෙන ප්‍රායෝගික කුසලතාවලින් සිසුන් සන්නද්ධ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අධ්‍යාපන මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ප්‍රධානීන් 150කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

මෙය වැදගත් වන්නේ ඇයි?

ලෝක බැංකු සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්තවලට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15-24ත් අතර තරුණ ශ්‍රම බලකායෙන් 18.6%ක්ම රැකියා විරහිතව පසු විය. ඉදිරි දශකය තුළ තරුණ තරුණියන් මිලියනයකට ආසන්න පිරිසක් අලු‍තින් ශ්‍රම බලකායට එක්වීමට නියමිත වුවද, බිහිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ විධිමත් රැකියා 300,000ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණි. මෙවැනි තත්ත්වයක් තුළ, ව්‍යාපාරික ආයතන තමන්ට අවශ්‍ය නිවැරදි වෘත්තීය කුසලතා සහිත සේවකයින් සොයා ගැනීමට අපොහොසත් වන අතර, අනෙක් අතට උපාධිධාරීන් රැසකට තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා අවස්ථා අහිමි වී තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව අතර පවතින සම්බන්ධතාව ශක්තිමත් කරමින්, කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම BTEC Connect South Asia සමුළුවේ මූලික අරමුණ විය. මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ (TVET) උපායමාර්ගික රාමුව (2026-2035) සහ ඊට අදාළ කුසලතා සංවර්ධන වැඩසටහන් නියෝජනය කරනු ලබයි. එම ජාතික වැඩසටහන මඟින් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර රැසක පුහුණු කටයුතු සඳහා සහයෝගය ලබා දෙයි. තරුණ තරුණියන්ට තම අධ්‍යාපන ආයතනවලින් පිටවී සාර්ථක වෘත්තීය ජීවිතයකට අවතීර්ණ වීම සඳහා ප්‍රායෝගික හා වෘත්තීයමය ඉගෙනුම මෙන්ම සන්නිවේදනය, ගැටලු‍ විසඳීමේ හැකියාව සහ ඕනෑම පරිසරයකට හැඩගැසීමේ කුසලතා අතිශය වැදගත් වන බව සමුළුවට සහභාගී වූවන් මෙහිදී අවධාරණය කළේය.

පියර්සන් ආයතනයේ එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර කලාපීය, ව්‍යවසාය ඉගෙනුම් හා කුසලතා අංශයේ උප සභාපතිනි ජේන් බේකර් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය: “ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සතුව දක්ෂතාවය මෙන්ම ඉහළ බලාපොරොත්තු ද තිබෙනවා. නමුත් බොහෝවිට ඔවුන්ට නොමැත්තේ එම දක්ෂතා ඔප්පු කර පෙන්වීමට ඇති අවස්ථාවයි. Pearson BTEC වෘත්තීය සුදුසුකම් මඟින් එම තත්ත්වය වෙනස් කරනු ලබනවා. සිසුන් ප්‍රායෝගික වැඩකටයුතුවල නිරත වෙමින් සහ සැබෑ වෘත්තීය පරිසරයක ගැටලු‍ විසඳමින් කුසලතා වර්ධනය කරගන්නා නිසා, ඔවුන් අධ්‍යාපනය අවසන් කරන්නේම රැකියාවකට අවශ්‍ය පූර්ණ විශ්වාසය සහ සූදානම ඇතිවයි. මිලියනයකට ආසන්න තරුණ ප්‍රජාවක් අලු‍තින් රැකියා වෙළෙඳපොළට එක්වන මෙවැනි පසුබිමක, ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථකව ජයගැනීමට සූදානම් වී ඇති බව තහවුරු කිරීමට අධ්‍යාපන ආයතන සහ සේවා යෝජකයින් ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

එදින පැවැති ප්‍රධාන විද්වත් මණ්ඩල සාකච්ඡාව Ready Institutions: Building Talent for an Unpredictable World යන තේමාව ඔස්සේ පැවැත්වුණු අතර, එහිදී අනාගතයට මුහුණ දීමට සූදානම් අධ්‍යාපන ආයතනයක් යනු කුමක්ද යන්න පිළිබඳව පුළුල් ලෙස විමසා බැලු‍ණි. මේ සඳහා ඩයලොග් ආසියාටා පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, SLANSHEI සභාපති ආචාර්ය නිසාම් රසාක්, ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් සහ ඉන්දියාවේ KCIC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝපර් ජෝන් යන මහත්වරු එක්ව සිටියහ. කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ වර්ධනයත් සමඟ උපාධිධාරීන්ගෙන් අපේක්ෂා කරන කුසලතාවන් වෙනස් වන ආකාරය සහ දැනට ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතින නව වෘත්තීය අවස්ථාවන් සඳහා සිසුන් සන්නද්ධ කිරීමට නම් අධ්‍යාපන ආයතන අඛණ්ඩව යාවත්කාලීන විය යුත්තේ ඇයිද යන්න පිළිබඳව ඔවුන් මෙහිදී අදහස් හුවමාරු කරගත්තේය.

අනාගත වෘත්තීය ලෝකය වෙනුවෙන් සිසුන් දැනටමත් සූදානම් කරනු ලබන අධ්‍යාපන ආයතන ඇගයීමට ලක් කිරීමටද Pearson ආයතනය මෙහිදී කටයුතු කළේය. ඒ අනුව, කුසලතා පූර්ණ සහ වෘත්තීය ඉලක්ක කරගත් අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් කලාපය පුරා පිහිටි Pearson BTEC මධ්‍යස්ථාන වෙත සම්මාන 12ක් පිරිනමන ලදී. මෙහිදී ESOFT ආයතනය ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, British College of Applied Studies (BCAS) ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

වසර 25කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ සිසුන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමටත්, ඔවුන්ට උසස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා උදාකර දීමටත් Pearson Higher National වෘත්තීය සුදුසුකම් මනා පිටුවහලක් වී ඇත. එමඟින් සිසුන්ට අධ්‍යාපනය ඔස්සේ තමන් අපේක්ෂා කරන අනාගත සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව උදා වී තිබේ.

Pearson පිළිබඳව

Pearson අපගේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය ඔස්සේ මිනිසුන්ට තමන් අපේක්ෂා කරන සාර්ථක ජීවිතය උදාකර ගැනීමට උපකාර කිරීමයි. අප විශ්වාස කරන්නේ සෑම ඉගෙනුම් අවස්ථාවක්ම පුද්ගලික ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බවයි. එබැවින්, සැබෑ ජීවිතයට අර්ථවත් වෙනසක් ඇති කළ හැකි ප්‍රායෝගික සහ උසස් ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ 18,000කට ආසන්න සේවක පිරිස කැපවී සිටිති. ජීවිත කාලය පුරාම අධ්‍යාපනය ලබාදීමේ ලොව ප්‍රමුඛතම ආයතනය වන අප, රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සිටින පාරිභෝගිකයින් වෙත ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන්, ඇගයීම් ක්‍රමවේද, වෘත්තීය සුදුසුකම් සහ දත්ත සේවාවන් සපයන්නෙමු. අපට අධ්‍යාපනය යනු හුදෙක් අප කරනු ලබන වෘත්තියක් හෝ ව්‍යාපාරයක් පමණක් නොවන අතර එය අප කවුද යන්න හඳුන්වා දෙන අපගේ සැබෑ අනන්‍යතාවයයි. අප පිළිබඳ වැඩිදුර විස්තර plc.pearson.com වෙතින් ලබාගත හැක.