ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා 2026 නිල ආරක්ෂක සහාය (Official Security Assistance) යටතේ ජපාන රජයෙන් ජපන් යෙන් බිලියන 1 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.08ක) ප්‍රදාන ආධාරයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂක හා නිරීක්ෂණ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ජපාන රජයේ 2026 නිල ආරක්ෂක සහාය (Official Security Assistance - OSA) වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 1ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.08ක) ප්‍රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.
මෙම ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර (Exchange of Notes) ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු ISOMATA Akio මහතා විසින් 2026 නොවැම්බර් 10 දින අත්සන් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ දෘඪ බඳ සහිත සුළං පිරවිය හැකි බෝට්ටු (Rigid Hull Inflatable Boats - RHIB) 25ක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමට නියමිතය. වෙරළබඩ නිරීක්ෂණ කටයුතු සඳහා සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම බෝට්ටු උතුරු, නැගෙනහිර, වයඹ, බටහිර සහ දකුණු නාවික විධානයන්හි යෙදවීමට අපේක්ෂා කෙරේ.
වර්ධනය වෙමින් පවතින කලාපීය ආරක්ෂක අභියෝග, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ක්‍රියාකාරකම්වල ඉහළ යාම සහ සාගර කලාපයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ සහ ආරක්ෂක ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. මෙම ප්රදානය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම, සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ සූදානම වර්ධනය කිරීම, මෙන්ම කලාපීය සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. තවද මානුෂීය සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහාද මෙම ව්‍යාපෘතියෙන් වැදගත් දායකත්වයක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා දිගු දුර සහ කෙටි දුර ඩ්‍රෝන යානා ලබාගැනීම සඳහා ජපාන රජය 2025 වර්ෂයේදී ජපන් යෙන් මිලියන 500ක නිල ආරක්ෂක සහාය ප්‍රදානයක් ලබාදුන් අතර, වර්තමාන ප්රදානය එම සහයෝගිතාවේ අඛණ්ඩ පියවරක් ලෙස සැලකේ. අනාගතයේදීද මෙවැනි සහාය අඛණ්ඩව ලබාදීමට ජපාන රජය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, මෙම සහාය දෙරට අතර වර්ධනය වෙමින් පවතින ආරක්ෂක සහයෝගිතාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. එසේම, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානය දක්වන සහයෝගය ද මෙමගින් පිළිබිඹු වේ.
මෙම ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර, උපකරණවල අවසාන පරිශීලකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ඇත.