“ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ උසස් ම තත්ත්වයේ අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු කරනවා” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල විෂයමාලා යාවත්කාලීන කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ඒවා උසස්ම තත්ත්වයේ අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විවෘත පදනම මත තෝරාගත් නව ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් 246 දෙනෙකු රාජ්‍ය සේවයට එක් කර ගැනීම සඳහා 2026 නොවැම්බර් 09 වන දින ඉසුරුපාය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

2019 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව 2020 වසරේ පැවැත්වූ විභාගයෙන් අනතුරුව, රට තුළ ඇති වූ සෞඛ්‍ය හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම බඳවා ගැනීමේ කටයුතු 2024 වසරේදී යළි ආරම්භ කෙරිණි. ඒ අනුව පැවැත්වූ සුදුසුකම් පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව සුදුසුකම් ලැබූ නිලධාරීන් පිරිස අද දින (9) රාජ්‍ය සේවයට නිල වශයෙන් සම්බන්ධ වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පාසල් මට්ටමේ විෂයමාලා , කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම මෙන්ම විද්‍යාපීඨවල විෂයමාලා යාවත්කාලීන කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ඒවා උසස්ම තත්ත්වයේ ගුරු අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළාය. ඒ ඔස්සේ දියුණු ආකල්ප, කුසලතා හා පෞරුෂයකින් හෙබි ගුරු පරපුරක් බිහි කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඇය අවධාරණය කළාය.

සාම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රමවේදයෙන් බැහැරව ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රියාවලියකට යොමුවීමේදී ගුරුවරයාගේ කාර්යභාරය අඩුවන බවට ඇතැම් විට හැඟී ගියද, එවැනි ක්‍රමවේදයක් තුළ ගුරුවරයාගේ වගකීම සහ කාර්යභාරය වඩාත් තීරණාත්මක වන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ අනුව, ගුරුවරයා හුදෙක් දැනුම හා තොරතුරු ලබාදෙන්නකුට සීමා නොවී, නායකත්ව ගුණාංගවලින් පිරිපුන්, කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාවෙන් යුත් සහ සෑම දරුවෙකු තුළම පවතින උපරිම හැකියාවන් හා දක්ෂතා මතුකර ගැනීමට සමත් පුද්ගලයකු විය යුතු බවද ඇය අවධාරණය කළාය.

රජය අපේක්ෂා කරන මෙම ඓතිහාසික අධ්‍යාපන පෙරළිය කිසිදු විටෙක ආණ්ඩුවකට හෝ නිලධාරීන් කිහිප දෙනෙකුට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, එය රටේ ජනතාවගේ, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ අයිතියක් බැවින් සැමගේ එකමුතුබව හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කළාය.

විවිධ බාධක මධ්‍යයේ වුවද මෙරට දෙමාපියන් තම දරුවන් පළමු ශ්‍රේණියේ සිටම පාසල් යවන්නේ අධ්‍යාපනය කෙරෙහි දැඩි බලාපොරොත්තු තබාගනිමින් බවත්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් ලබාදුන් ඒ නිදහස් අයිතිය හා විශ්වාසය ආරක්ෂා කරගනිමින් නව ලෝකයට අවශ්‍යවන අයුරින් අධ්‍යාපන පද්ධතිය සකස් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය.

මෑත කාලයකදී ලංකාවට ආරක්ෂා කරගැනීමට ලැබුණු උතුම්ම සම්පත අධ්‍යාපන පද්ධතිය බව පෙන්වා දුන් ඇය, එය කිසිදු රජයකට හෝ ආණ්ඩුවකට සීමා වූවක් නොව මෙරට ජනතාවගේ ජීවන අපේක්ෂාව සහ සිහිනය බවත්, එය සැබෑ කරලීමේ ප්‍රධාන වගකීම ගුරු අධ්‍යාපනවේදී නිලධාරීන් මත පැවරී ඇති බවත් අවධාරණය කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, දැනට පවතින අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමාවක් දක්වාත්, අනතුරුව ගෞරව අධ්‍යාපනවේදී උපාධියක් දක්වා උසස් කිරීමට අපේක්ෂා කරන බවයි. ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්දුවක් ලෙස ශික්ෂණලාභීන්ට උපාධිය ලබා දීමේ අරමුණ මෙලෙස ක්‍රියාවට නංවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම විද්‍යාපීඨ විශ්වවිද්‍යාලයන් දක්වා පරිවර්තනය වන සංක්‍රාන්ති සමයක නවකයන් ඇතුළත් වන බැවින්, අන් කවරෙකුටවත් නොමැති අභියෝගාත්මක තත්ත්වයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන නමුත් එය අධ්‍යාපන ක්‍රමයේ සාධනීය අත්දැකීමක් වන බවද ඔහු පෙන්වා දුන්නේය. තවද, ලෝකයේ සිදුවන ආකල්පමය සහ ක්‍රමෝපායික වෙනස්වීම් සමඟ සමගාමීව, විශ්වවිද්‍යාලවලට සමාන්තරව පර්යේෂණ කරන, විවේචනාත්මකව සිතන ගුරු පරපුරක් බිහි කිරීම සඳහා විද්‍යාපීඨ පරිසරය හා විෂයමාලා අත්‍යවශ්‍යයෙන්ම වෙනස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයීය නිලධාරීන් පිරිසක් එක්වී සිටියහ.